Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (2 වැනිදා) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 132 කට සීමා කිරීමට ජේම්ස් ඇන්ඩසන් සහ මැටි පොට්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා නවසීලන්තයට වඩා ලකුණු 113 ක් පසුපසින් සිටියේය. ඒ වන විට සැක් ක්‍රොව්ලි ලකුණු 14 ක්ද, ඇලෙක්ස් ලීස් ලකුණු 5 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විටත් ලකුණු 39 කට කඩුලු 6 ක් අහිමි කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවිය. දිවා ආහාරයෙන් පසුව 7 වැනි කඩුල්ල කයිල් ජැමීසන් දවාගැනීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වුවත්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් (නොදැවී 42) සහ ටිම් සවුති (26) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
එම සම්බන්ධතාවටද තිත තැබූ ඇන්ඩසන්, මැටි පොට්ස්ගේ සහායද ඇතිව සවුතිගේ ඉනිම නිමාවට පත්කළේය. අජාස් පටේල් ලකුණු 7 ක් ලබා සිටියදී මැටී පොට්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ අතර අවසන් පිතිකරුවා වූ ටේරන්ට් බෝල්ට් ලකුණු 14 කට දවාගත් නායක බෙන් ස්ටෝක්ස් නවසීලන්ත ඉනිම අහවර කළේය.
කලකට පසුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවට්ර් බ්‍රෝඩ්, සිය වගකීම නිසි ආකාරව ඉටු කරමින් නවසීලන්ත මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු වේලාසනින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූහ. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 23 හැවිරිදි මැටී පොට්ස් කඩුලු 4 ක් දවාගත්තේ නවසීලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඇන්ඩසන්ට අනගි සහායක් දෙමිනි.
මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට නවසීලන්ත ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඇන්ඩසන්ගේ පන්දු හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දු ලබාදෙමින් දැවී ගියහ. බ්‍රොඩ්ගේ පන්දුවක් හමුවේ ඩොවෝන් කොන්වේ (3) දැවී ගියේද බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් ලබාදෙමිනි. කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස්ගේ සහායද ඇතිව නායක කේන් විලියම්සන්ගේ (2) පිටියෙන් ඉවත්කළ පොට්ස්, ඩර්ලි මිචෙල්ගේ (13) සහ ටොම් බ්ලන්ඩල්ගේ (14) කඩුලු බිඳ දැමුවේය.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 132
(ඩර්ලි මිචෙල් 13, ටොම් බ්ල්න්ඩල් 14, මැටී පොට්ස් 08/3, ජේම්ස් ඇන්ඩසන් 05/2)
එංගලන්ත පළමු ඉනිම - කිසිවකු නොදැවී 19
(සැක් ක්‍රොව්ලි නොදැවී 14)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.