Last Update  :  2026-05-20 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

editorial - 2026 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පළමු තරග දෙකම වැස්සට සේදී ගිය නමුත් ලැබුණු තුන්වැනි අවස්ථාවේදී උපරිම ප්‍රයෝජනය ගත් නවසීලන්ත ‘ඒ ක්‍රීඩිකාවෝ රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තීරණාත්මක තුන්වැනි සහ අවසාන නිල නොවන එක්දින තරගය ලකුණු 84 කින් ජයග්‍රහණය කළහ. පිට පිටම තුන්වැනි තරගයටත් වර්ෂාවෙන් බාධා පැමිණි බැවින් නවසීලන්ත ක්‍රීඩිකාවන් ජයගත්තේ ද ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුවය. 

තරගාවලියේ මුල්ම වතාවට කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ එහි උපරිම ප්‍රතිපල ලබාගනිමින්, නියමිත ඕවර 50 ඇතුළත කඩුලු 8 කට ලකුණු 273 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා කාන්තාවන්නේ ඉනිමට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඔවුන්ගේ ඉලක්කය ඕවර 38 කදී ලකුණු 234 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. එහෙත් ඕවර 33.2 කදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 149 කි. 

පළමු තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වූ බැවින් නවසීලන්ත ‘ඒ’ ක්‍රීඩිකාවෝ 1-0 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්හ. 

රංගිරි දඹුල්ල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට බෙහෙවින් හුරු පුරුදු ක්‍රීඩාංගණයකි. එහෙත් සෑම අතින්ම ආගන්තුක තණතීරුවකදී සත්කාරකයින් අභිබවා යමින් තරගාවලිය ජයගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත්වීම, ඔවුන්ගේ වෘත්තීමය නිපුණතාවට කදිම සාක්ෂියකි. 

නවසීලන්ත ඉනිමට මැද පෙළ පිතිකාරිණියන්ගෙන් වැඩිපුර යමක් නොලැබිණ. එහෙත් නවසීලන්ත විස්සයි-20 කණ්ඩායමේ සාමාජිකාවක වන ආරම්භක පිතිකාරිණි කේට් ඇන්ඩසන් 40 වැනි ඕවරය දක්වාම පිටියේ රැඳෙමින්, තමන්ගේ අන්තය ආරක්‍ෂා කරගනිද්දී, නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 193 ක් දක්වා ඉහළ ගියේය. පන්දු 108 කට මුහුණ දෙමින්, ඒවායින් 6 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ ඇන්ඩසන්, ලකුණු 84 ක් ලබාගත්තාය. 

ඇන්ඩසන් දැවී ගිය පසුව නායිකා ජෙසිකා වට්කින්ස් (36) සමගින් එක්වූ බෙලා ආම්ස්ට්‍රෝං (59) ලකුණු සංඛ්‍යාව 234 දක්වා ඉහළ දැමූ අතර පන්දු 22 කින් නොදැවී ලකුණු 38 ක් ලබාගත් කයිලි නයිට් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 273 දක්වා ඉහළ දැමුවාය. වමතින් දඟ පන්දු යවන්නී, තාරුකා ෂෙහානි කඩුලු 4 ක් දවාගත්තද, කයිලි නයිට්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ ෂෙහානි සිය කඩුලු 4 වෙනුවෙන් ලකුණු 64 ක් නවසීලන්ත පිතිකාරිණියන්ට පූජා කළාය. 

වඩාත් බලාපොරොත්තු රඳවා සිටි විශ්මි ගුණරත්න (23) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද, තම සහාය ආරම්භක පිතිකාරිණිය වූ සංජනා කාවින්දි (79) සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් පැවැත්වූවාය. විශ්මිගේ දැවීයාමත් සමගින්, ලකුණු 4 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අසරණ වූ ශ්‍රී ලංකා කාන්තාවන්ට එතැන් සිට හිස එසවිය නොහැකි විය. 

සටන්කාමී පිතිහරඹයක යෙදුණු සංජනා කාවින්දි, පන්දු 73 කින් ලකුණු 79 ක් ලබාගත් අතර ඇයගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. පියුමි වත්සලා ලකුණු 24 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කාන්තා ලකුණු පුවරුවේ වැඩි කොටසක් දුරකතන අංකයක් ලෙසින් දිස්විය. 

අංක 9 පිතිකාරිණිය ලෙසින් පැමිණි නායිකා සත්‍යා සංදීපනී, තරග තුනකදී දෙවැනි වතාවටත් ලකුණු නොලබා දැවී ගියාය. මෙම තරගාවලියේ ඉනිම 3 ක දී සත්‍යාගෙන් ලැබුණේ ලකුණු 16 කි. 


නවසීලන්ත ‘ඒ’ කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 8 ට 273 යි
(කේට් ඇන්ඩසන් 84, බෙලා ජේම්ස් 10, පෲ කැටන් 15, ජෙසිකා වට්කින්ස් 36, බෙලා ආම්ස්ට්‍රෝං 59, කයිලි නයිට් නොදැවී 38, චමුදි ප්‍රබෝධා 37/2, තාරුකා ෂෙහානි 64/4)

ශ්‍රී ලංකා ‘ඒ’ කාන්තාවෝ - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 149 යි
(විශ්මි ගුණරත්න 23, සංජනා කාවින්දි 79, පියුමි වත්සලා 24, මරාමා ඩෝන්ස් 18/4, බෙලා ආම්ස්ට්‍රෝං 39/3, ජෙසිකා වට්කින්ස් 03/2)

 


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.