Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය කඩුලු 2 ට 101 යි

නවසීලන්තය කඩුලු 2 ට 101 යි

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සදම්ප්ටන් නුවර, රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ තුන්වැනි දිනය වූ අද (20 වැනිදා) තරගය අවසන් කරන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 101ක් ලබා සිටියේය. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 116 ක් පසුපසින් නවසීලන්තය මේ වනවිට පසුවන්නේය.

නායක කේන් විලියම්සන් ලකුණු 12 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර රොස් ටේලර් තවමත් ලකුණු රැස්කිරීම ආරම්භ කර නොමැත.

පළමු කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිටියදී ආරම්භක පිතිකරු ටොම් ලේතම් පිටියෙන් ඉවත් කිරීමට රවින්චන්ද්‍රන් අශ්වින් සමත්විය. ලකුණු 30 ක් රැස්කරමින් සිටියදී විරාට් කෝලී අතට උඩපන්දුවක් දෙමින් ටොම් ලේතම් දැවී ගියේය.

අර්ධ ශතකයක් ලබාසිටි ඩෙවොන් කෝන්වේ අද දිනයේ යවන ලද අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී මොහොමඩ් ශාමී අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ඉශාන්ත් ෂර්මාගේ පන්දුවක් හමුවේ දැවී ගිය කෝන්වේ ලකුණු 54 ක් රැස්කර සිටියේය

පන්දු 18 ක් ඇතුළතදී විරාට් කෝලි (44) සහ රිෂාබ් පාන්ට් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ කයිල් ජැමීසන් කඩුලු 5 ක් දවාගත් හෙයින් ඉන්දීය පිලේ මුල් ඉනිම ලකුණු 217 කට සීමා විය.

අඩි 7 ක් පමණ උස ක්‍රීඩකයකු වන, 26 හැවිරිදි ජැමීසන් සිය තරග 8 ක ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් පස්වැනි අවස්ථාව මෙයයි. ඔහු විසින් රෝහිත් ෂර්මා දවාගනු ලැබුවේ ඉන්දීය ආරම්භක පිතිකරුවා ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවකදීය.

ක්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් ඇතුළත තිබූ තෙතබරිත ස්වභාවය හේතුවෙන් අදත් තරගය ආරම්භ කිරීම විනාඩි 30 කින් පමා විය. ඒ වන විට කෝලි (නොදැවී 44) සහ අජින්ක්‍යා රහනේ (නොදැවී 29) පිටියේ සිටියහ. අඳුරු අහසත් හරිත පැහැ තණතීරුවත් වේග පන්දු යවන්නන්ගේ වාසියට පැවැති අතර කෝලිට අද දිනයේ එකම ලකුණක්වත් ලබාගත නොහැකි විය. අද ඔහු මුහුණ දුන්නේ පන්දු 8 කට පමණි.

නවසීලන්ත පන්දු යවන්නන්ගේ ඉලක්කගත පන්දු යැවීම කෙතරම් වූයේද යත් ඉන්දීය නායකයා මුහුණ දුන් පන්දු 132 ටම අයත් වූයේ එකම හතරේ පහරක් පමණි. සාමාන්‍යයෙන් නිදහසේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයකු වන රිෂාබ් පන්ට් පන්දු 20 කට පසුව දැවී ගියේය.

තරගයේ පළමු දිනය වූ සිකුරාදා සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගියේය. එහෙත් තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතාට අවශ්‍ය නම් මෙම තරගය 6 වැනි දිනය දක්වාත් පවත්වාගෙන යා හැකිය.

ඉන්දියාව  - පළමු ඉනිම 217 යි
(රෝහිත් ෂර්මා 34, ෂුබ්මන් ගිල් 28, විරාට් කෝලි 44, අජින්ක්‍යා රහනේ 49, රවීන්ද්‍ර ජදේජා 15, රවිචන්ද්‍රන් අශ්වින් 22, ටේ‍රන්ට් බෝල්ට් 47/2, කයිල් ජැමීසන් 31/5)
නවසීලන්තය  - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 101
(ටොම් ලෙතම් 30, ඩොවොන් කොන්වේ 54)


 

- 213


අදහස් (0)

නවසීලන්තය කඩුලු 2 ට 101 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.