Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද නවසීලන්ත සංචිතයට දඟ පන්දු යවන්නන් සිව්දෙනකු ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන අජාස් පතෙල් සහ මිචෙල් සෑන්ට්නර්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක විලියම් සමර්විල් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ටොඞ් ඇස්ටල් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටින දඟ පන්දු යවන්නෝ වෙති. අජාස් පතෙල් සහ විලියම් සමර්විල් නවසීලන්ත සංචිතයට ඇතුළත්ව ඇත්තේ ඉකුත් වසරේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමිනි.
තරග 3 කින් සමන්විත වූ එම තරගාවලියේදී 2-1 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය. එම තරග 3 දී කඩුලු 13 ක් දවාගැනීමට අජාස් පතෙල් සමත් වූ අතර අබුඩාබිහි අවසන් තරගයේදී කඩුලු 7 ක් දවාගැනීමට විලියම් සමර්විල් සමත් විය.
දණහිසේ ආබාධයක් හේතුවෙන් 2017 වසරෙන් පසුව ටෙස්ට් තරග සඳහා සහභාගි නොවූ මිචෙල් සෑන්ට්නර්, එම ආබාධය සුව වී යළිත් කණ්ඩායමට ඇතුළත් වීමෙන් අනතුරුව එක්දින සහ විස්සයි20 තරග සඳහා පමණක් සහභාගි විය. ඔහු යළිත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින්නේ මෙම තරගාවලියේදීය. ටොඞ් ඇස්ටල් 2012 වසරේ ශ්‍රී ලංකාවේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.
සුපුරුදු පරිදි ටේරන්ට් බෝල්ට් සහ ටිම් සවුති නවසීලන්ත වේග පන්දු බලඇණියේ පෙරමුණ ගෙන සිටිති. නීල් වැග්නර් සහ කොලින් ඩි’ගෑන්ඞ්හෝම් ඊට ඇතුළත්ව සිටින සෙසු වේග පන්දුයවන්නෝ වෙති. කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 21 ක් දවාගත්, තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ලොකි ෆර්ගසන්ට මෙම තරගාවලියේදී නවසීලන්ත සංචිතයේ ස්ථානයක් හිමි වී නොමැත.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි තරගය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
නවසීලන්ත ටෙස්ට් සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොඞ් ඇස්ට්ල්, ටොම් බ්ලන්ඩල්, ටේරන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ටොම් ලේතම්, හෙන්රි නිකල්ස්, අජාස් පතෙල්, ජීත් රාවල්, විල් සමර්විල්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර් සහ බෙන් වොට්ලින්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.