Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩාල් පියවර දෙකක් පසුපසට

නඩාල් පියවර දෙකක් පසුපසට

editorial - 2021 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩකයා ලෙස සම වාර්තාවට හිමිකම් කියන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මෙවර විම්බල්ඩන් ශූරතාවලියෙන් සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල්, ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාද වේ.

මෙම වසරේ (2021) විම්බල්ඩන් ශූරතාවලිය මේ මස 28 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී ආරම්භවන අතර ඔලිම්පික් උළෙල ජූලි මස 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතය.

2008 සහ 2010 වසර වලදී විම්බල්ඩන් ශූරතාව ජයග්‍රහණය කළ නඩාල්, කියා සිටින්නේ දීර්ඝ මැටි පිටි තරග වාරයකින් පසුව තමාට කෙටි විවේකයක් අවශ්‍ය වී ඇති බවය.

“මට මේ තීරණය ගන්න හුඟක් අපහසු වුණා. ඒත් මගේ සිරුරට ඇහුම්කන් දීලා, ඒ ගැන මගේ කණ්ඩායමේ සාමාජිකයන් සමග සාකච්ඡා කළාට පසුවට එය නිවැරදි තීරණයක් බව මට වැටහුණා. දැන් මගේ ඉලක්කය වන්නේ ක්‍රීඩ‍ා දිවිය දීර්ඝ කරගැනීම සහ මාව සතුටට පත්කරන දේවල් දිගටම කරගෙන යෑමයි.” යැයි නඩාල් සිය තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

“ඉහළ මට්ටමේ තරග සඳහා සහභාගි වීමත්, වෘත්තීය සහ පෞද්ගලික ඉලක්කයන් වෙනුවෙන් දිගින් දිගටම සටන් කිරීමත් මාව හුඟක් සතුටට පත් කරනවා. ඒත් ප්‍රංශ විවෘත තරගාවලිය සහ විම්බල්ඩන් තරගාවලිය අතර ඇත්තේ සති දෙකක පරතරයක් පමණයි. ඇරත් ඒ තරග පැවැත්වෙන්නේ හාත්පසින්ම වෙනස් ක්‍රීඩාංගණ දෙකක. එය මගේ සිරුරට දරා ගන්න අපහසු වේවි. ඒ නිසා මේ වෙලාවේ කෙටි විවේකයක් ලබාගන්න එක හොඳයි කියලා මම හිතුවා.” යැයිද නඩාල් පැවසීය.

ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලොව අංක ‍එකේ ටෙනිස් ක්‍රීඩක ‍සර්බියාවේ නොවැක් ජොකොවික් හමුවේ පරාජයට පත්වීමෙන් පසු නඩාල් මෙම තීරණය පිළිබඳව ඉඟි පළ කළේය. මෙම වසර මුලදී පිට කොන්දේ ආබාධයකින් පෙළුණු නඩාල්, අප්‍රේල් මස මැදදී මැටි පිටි තරග වාරය අරම්භ වීමට පෙර සහභාගි වූයේ ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය සඳහා පමණි. එහිදී ඔහු අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් විය.

ඉකුත් වසරේදී (2020) විම්බල්ඩන් ශූරතාව දිනූ ජෙ‍ාකොවික්, මෙවරද එහි ශූරතාව දිනාගැනීමට සමත් වුවහොත් ඔහුට වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩකයන් ලෙස නඩාල් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පිහිටුවා ඇති වාර්තාව සම කිරීමට හැකි වනු ඇත. නඩාල් සහ ෆෙඩරර් මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 බැගින් ජයගෙන ඇති අතර ජොකොවික් මෙවර ප්‍රංශ විවෘත ශූරතාවලියේදී දිනාගත්තේ සිය 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය.

-036


අදහස් (0)

නඩාල් පියවර දෙකක් පසුපසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.