වසර හතරකට පසුව කණ්ඩායමට කැඳවූ අබ්දුර් රසාක් සමගින් දඟ පන්දු යවන්නන්ගෙන් සංචිතය පුරවා දැමූ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අමුතුම ආරක ආක්‍රමණයකට සූදානම් වෙයි. එහෙත් බංග්ලාදේශයේ උපායයන් කල්තබාම ඉවවැටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් හය දෙනකුගෙන් සංචිතය පුරවා දැමීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය හෙට (31 වැනිදා) චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
පසුගිය සෙනසුරාදා පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හැඟීම වන්නේ තමන්ගේ දස්කම් ටෙස්ට් තරගාවලියටත් ගෙන යා හැකිය යන්නයි. වඩාත් විශ්වාසය තැබිය හැකි ටෙස්ට් ක්‍රීඩකයන් වන රංගන හේරත්, දිමුත් කරුණාරත්න සහ ඩිල්රුවන් පෙරේරා නැවතත් කණ්ඩායමට එක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසනීයත්වය තහවුරු වී තිබේ.
මේ වන විට 35 වැනි වියේ සිටින අබ්දුර් රසාක් කණ්ඩායමට කැඳවන ලද්දේ නායක සකිබ් අල් හසන් තුවාල ලැබීමෙන් පසුවය. තවමත් ටෙස්ට් වරම් ලබා නැති වමත් දඟ පන්දු යවන්නකු වන සුන්සමුල් ඉස්ලාම් සහ දකුණතින් පා දඟ පන්දු යවන තන්බිර් හයිදර්ද සමගින් අබ්දුර් රසාක් සහ මෙහෙදි හසන් එක්වූ පසුව බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ සිවු දෙනෙකි. කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මහමදුල්ලා රියාද්ට පැවරී තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් සහ සකිබ් අල් හසන් තුවාල ලබා සිටින බැවින් දුර්වල වීම අනුව දෙපිලම එක සමානය. එහෙත් වඩා පරිණත ක්‍රීඩකයන් දෙස බලන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී.
| ස්ථානය | රට | තරග | ලකුණු | ප්‍රසාද ලකුණු |
| 1 | ඉන්දියාව | 44 | 5313 | 121 |
| 5 | දකුණු අප්‍රිකාව | 39 | 4484 | 115 |
| 3 | ඕස්ට්‍රේලියාව | 40 | 4174 | 104 |
| 7 | නවසීලන්තය | 35 | 3489 | 100 |
| 4 | එංගලන්තය | 49 | 4829 | 99 |
| 6 | ශ්‍රී ලංකාව | 43 | 4058 | 94 |
| 2 | පාකිස්තානය | 34 | 2988 | 88 |
| 8 | බටහිර ඉන්දීය කොදෙව් | 36 | 2606 | 72 |
| 9 | බංගලාදේශය | 23 | 1651 | 72 |
| 10 | සිම්බාබ්වේ | 14 | 12 | 1 |
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පැවැති තරගය සඳහා සූදානම් කළ චිතගොන් තණතීරුව දඟ පන්දු යවන්නන්ටම හදාපු එකකි. නේතන් ලයන් කඩුලු 13 ක් ලබා ගත් එම තණතීරුවේදී ශ්‍රී ලංකාව හමුවන බංග්ලාදේශ කණ්ඩායම සිය පිට දඟ පන්දු යවන්නා වන මෙහෙදි හසන් ඇතුළු සෙසු දඟ පන්දු යවන්නන් කෙරේ වැඩි විශ්වාසය තබා තිබේ.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමද කරට කර සිටී. ප්‍රවීන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරාට අමතරව විශේෂඥ දඟ පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් දෙදෙනාට අමතරව අවස්ථාවෝචිත පිට දඟ පන්දු යවන්නන් වන ධනංජය ද සිල්වා මෙන්ම ධනුෂ්ක ගුණතිලකද කණ්ඩායමේ සිටිති. අරාබියේදී පාකිස්තානු පිල පරාජය කළ අවස්ථාවේදී රංගන හේරත් තරග දෙකකදී තනිවම කඩුලු 16 ක් දවාගත් අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 12 ක් දවාගත්තේය.
තමන්ට සෑමදා තර්ජනයක් වන මුෂ්ෆිකුර් රහීම් සහ ටමීම් ඉක්බාල් දෙදෙනා මෙල්ල කරගැනීම ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගයයි.
ටෙස්ට් තරග 12 කට ක්‍රීඩා කර ඇති අබ්දුර් රසාක් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2014 දී කොදෙව් පිලට එරෙහිවය. නැවතත් කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් සිය විමතිය ප්‍රකාශ කළ වමත් දඟ පන්දු යවන්නා තේරීම් කමිටු නිලධාරීන්ගේ තීරණය නිවැරදි බව පෙන්වීමට ඉටාගෙන තිබේ.
“සකිබ් අපේ විතරක් නෙමේ ලෝකයේම සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයායි”
“ඔහු වගේ කෙනෙක්ට ආදේශක හොයන එක පහසු දෙයක් නෙමේ. මොකද එයාගේ ස්ථාන දෙකටම හරියන පිතිකරුවෙක් වගේම පන්දු යවන්නකුත් හොයාගත යුතුවන නිසා....ඒ තැනට එන අය මොන විදිහට ඒ හිදැස පුරවාවිද කියා දැන්ම කියන්න බෑ” යයි කී රසාක්...
“මම වැඩිදේවල් කරන්න යන්නේ නෑ. මට හුරු පුරුදු ක්‍රීඩාව කරගෙන යනවා” යයි වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසර එක හමාරක කාලයේ සිය මව්බිමේදී ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වූ බංග්ලාදේශය එංගලන්තයට සහ ඕස්ටේ්රලියාවට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලබාගත්තේය. ඒ වන විට බංග්ලාදේශ පිලේ පුහුණුකරුවා වූ චන්දික හතරුසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වී සිටී.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 18 න් තරග 15 කදී ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. තරගයක් පමණක් බංග්ලාදේශය ජයගෙන ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවී ඇත.
එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව 8 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටින නමුත් ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් 6 වැනි ස්ථානය රැකගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු මට්ටම 90 න් ඉහළ රඳවාගනිමිනි. ඉන්දියාවේදී පැවැති තරගාවලිය 1-0 කින් පරාජය වූ නමුත් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලිය 2-0 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 5 න් පරාජය වී ඇත්තේ එකක් පමණි.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුෂල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර
බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රුල් කේයිස්, මොමිනුල් හක්, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රහමාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රුබෙල් හොසේන්, නයීම් හසන්, සුන්සමුල් ඉස්ලාම්, තන්බාර් හයිදර් සහ අබ්දුර් රසාක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.