Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු වෙන්දේසියේදී කුසල්ට - දිල්ෂාන්ට හොඳ ඉල්ලුමක්

දකුණු අප්‍රිකානු වෙන්දේසියේදී කුසල්ට - දිල්ෂාන්ට හොඳ ඉල්ලුමක්

editorial - 2022 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලබන වසරේ (2023) ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු සමාරම්භක විස්සයි-20 ලීගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ට, දිල්ෂාන් මධුෂංකට සහ මහීෂ් තීක්ෂණට හිමිව ඇත.

ඔවුන් තිදෙනා අතරින් කුසල් සහ දිල්ෂාන් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රිඩක වෙන්දේසියේදී පිළිවෙලින් ප්‍රිටෝරියා කැපිටල්ස් සහ ඩර්බන්ස් සුපර් ජයන්ට්ස් කණ්ඩායම්වලට අලෙවි වූ අතර මහීෂ් වෙන්දේසියට පෙර සිටම ජොහැන්සන්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව සිටියේය.

ඩර්බන් සුපර් ජයන්ට්ස්, ජොහැන්සන්බර්ග් සුපර් කිංග්ස්, එම්.අයි. කේප් ටවුන්, පර්ල් රෝයල්ස්, ප්‍රිටෝරියා කැපිටල්ස් සහ සන්රයිසස් ඊස්ටන් කේප් යන කණ්ඩායම් 6 හි සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. මෙම සියලුම කණ්ඩායම්වල හිමිකාරීත්වයන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායම්වල හිමිකරුවන් සතුවේ.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හිමිකාරීත්වය දරණ ජොහැන්සන්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියට පෙර සිටම මහීෂ් තීක්ෂණ තම කණ්ඩායමට ඇතුළත් කරගත්තේ ඔහු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක මුදලක් නියම කරමිනි. එය ශ්‍රී ලංකා රුපියල් හත්කෝටි දහඅට ලක්ෂයක් (71,800,000) පමණ වනු ඇත.

වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස්ගේ සේවය තම කණ්ඩායමට ලබාගැනීම සඳහා ප්‍රිටෝරියා කැපිටල්ස් හිමිකරුවන් වැය කළ මුදල දකුණු අප්‍රිකානු රැන්ඩ් 425,000 කි. පවතින විනිමය අනුපාතයට අනුව රැන්ඩ් 1 ක් රුපියල් 20.22 ක් ලෙස සැලකුවහොත් එම මුදල දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් අසූහය ලක්ෂයක් (8,593,500) පමණ වේ.

දිල්ෂාන් මධුෂංක සඳහා වෙන්දේසියේදී නියම කර තිබූ මූලික ලන්සුව රැන්ඩ් 175,000 ක් වුවත්, ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම සමග පැවැති තරගයකින් අනතුරුව රැන්ඩ් 275,000 කට ඔහුගේ සේවය තම කණ්ඩායමට ලබාගැනීමට ඩර්බන්ස් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් පනස්පන් ලක්ෂයක (5,560,500) අගයක් ගනී.

දිනේෂ් චන්දිමාල්, පැතුම් නිසංස්ක, කුසල් පෙරේරා, චාමික කරුණාරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද මෙම වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත් ඔවුන්ගේ සේවය මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.

ඔවුන්ට අමතරව ටෙම්බා බවුමා, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩීන් එල්ගා සහ වියාන් මල්ඩර් වැනි දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම රොස් ටේලර්, ක්‍රෙග් ඔවර්ටන්, කාර්ලෝස් බ්‍රත්වේට්, ලෙන්ඩ්ල් සිමන්ස්, රොස්ටන් චේස්, ජේඩ්න් සීල්ස්, ටයිමාල් මිල්ස් සහ ශායි හෝප් වැනි විදෙස් ක්‍රීඩකයන්ද මෙම වෙන්දේසියේදී අලෙවි නොවූහ.

වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටි්‍රස්ටන් ස්ටබ්ස් පත්වූ අතර එහිදී සන්රයිසස් ඊස්ටන් කේප් කණ්ඩායමෙන් ඔහුට හිමිවූ මුදල රැන්ඩ් මිලියන 9.2 කි. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන රිලී රූසොව් (ප්‍රිටෝරියා කැපිටල්ස්) රැන්ඩ් මිලියන 6.2 කටද, මාර්කෝ ජැන්සන් (සන්රයිසස් ඊස්ටන් කේප්) රැන්ඩ් මිලියන 6.1 කටද බැගින් අලෙවි වූහ.


අදහස් (0)

දකුණු අප්‍රිකානු වෙන්දේසියේදී කුසල්ට - දිල්ෂාන්ට හොඳ ඉල්ලුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.