Last Update  :  2025-10-17 19:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු කාන්තාවෝ අවසන් පූර්ව වටයේ දොරටුව අබියස
කාන්තා ලෝක කුසලාන - 2025

දකුණු අප්‍රිකානු කාන්තාවෝ අවසන් පූර්ව වටයේ දොරටුව අබියස

editorial - 2025 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී වර්ෂාව හේතුවෙන් පැය 5 ක කාලයක් අපතේ ගිය නමුත් රාත්‍රී 9.10 ට එය නැවතත් ආරම්භ විය. එහිදී  ශ්‍රී ලංකා කාන්තාවන් කඩුලු 10 කින් පරාජය කළ දකුණු අප්‍රිකානු කාන්තාවෝ ප්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් අවසන් පූර්ව වටයේ දොරටුව අබියසට පැමිණියේ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය අත්පත් කරගනිමිනි.

අද තරගයේදී අත්කරගත් පරාජය හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු බිඳ වැටිණ. ඉතිරි තරග දෙකම ජයගත්තද ශ්‍රී ලංකා කාන්තාවන්ට ලබාගත හැක්කේ ප්‍රසාද ලකුණු 6 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් ලබාගත්තේය. තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන්, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉලක්කය ඕවර 20 කදී ලකුණු 121 ක් ලෙස සටහන් විය. 

ඕවර 14.5 කදී කිසිවකු නොදැවී ලකුණු 125 ක් ලබාගත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා ලෝරා වූල්වාර්ත් (නොදැවී 60) සහ ටැස්මින් බි්‍රට්ස් (නොදැවී 55) අලංකාර පිතිහරඹයක නිරත වූහ. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහර දෙමින් සිටියදී, අද පස්වරු 3.55 ට ආරම්භ වූ වර්ෂාව නතර කරන විට රාත්‍රී 8.00 පමණ විය. ක්‍රීඩාංගණයේ පැවැති වැසි ආවරණ සහ ජලය ඉවත්කිරීමෙන් පසුව එක පිලකට ඕවර 20 ක තරගයක් ලෙසින් රාත්‍රී 9.10 ට තරගය ආරම්භ කරන ලදි. 

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් පොරතුව ශ්‍රී ලංකා නායිකාව කියා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමට ඇත්නම් එය විශාල සතුටක් වන බවයි. ලෝකයේ කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 6 වැනි ස්ථානයේ සිටීම නායිකාවගේ ප්‍රකාශයේ පසුබිම විය. 

කාසියේ වාසිය දිනාගත් චමරි අතපත්තු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළාය. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් ව තිබියදී ලකුණක් කරා දිව යමින් සිටි විශ්මි ගුණරත්නගේ දණහිසේ පන්දුව වැදීම හේතුවෙන් ඇයට ගිලන් මැස්සක ආධාරයෙන් ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට සිදුවිය. 

10 වැනි ඕවරය නිමාවේදී චමරි අතපත්තු ලකුණු 11 කට දැවී ගියාය. පන්දු 25 කට මුහුණ දී තිබූ ඇයගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණි. පන්දු 18 කින් ලකුණු 6 ක් ලබා සිටි හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යද්දී ඇතිවූ වර්ෂාව නිසා තරගය නතර කරන ලදි. 

වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසු ශ්්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 8 කින් ලකුණු 59 ක් ලබාගත්හ. තුවාල ලබා පිටියෙන් ඉවත්ව ගිය විශ්මි ගුණරත්න නැවතත් පිටියට පැමිණ පන්දු 33 කින් ලබාගත් ලකුණු 34 හතරේ පහර 6 කින් සමන්විත විය. 

තරගය නැවත ආරම්භ වීමෙන් පසුවද තමන්ගේ ඉලක්කය කරා යාමට චමරි ඇතුළු පිරිවර විශාල උත්සාහයක් ගත් නමුත් ලෝරා වූල්වාර්ත් සහ ටැස්මින් බි්‍රට්ස් දෙදෙනා හමුවේ එය අසාර්ථක විය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට අනුකම්පාවකින් තොරව පහර දුන් ලෝරා සහ ටැස්මින් හතරේ පහර 12 කින් සහ හයේ පහර 2 කින් ශ්‍රී ලාංකිකයන්ට සංග්‍රහ කළහ. ටැස්මින් බි්‍රට්ස්  තරගය අවසන් කළේ ජයග්‍රහණය මෙන්ම තමාගේ අර්ධ ශතකයත් සම්පූර්ණ කරමිනි. 


අදහස් (1)

දකුණු අප්‍රිකානු කාන්තාවෝ අවසන් පූර්ව වටයේ දොරටුව අබියස
  • Pradeep Kumara Friday, 17 October 2025 08:56 PM

    බලාපොරොත්තු සේදීයාම කෙසේ වෙතත් හොඳ වෙලාවට වැස්සේ, එක ලකුණක් හරි ලැබුනා. මැච් එක ගැහුවානම් ද. අප්‍රිකාව දෙකක් ගන්නවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.