Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
එය සෑම අතින්ම ඒකපාර්ශ්වික තරගයක් ලෙසින් සටහන් කළ හැකිය. පිතිහරඹය, පන්දු යැවීම හෝ පන්දු රැකීම පමණක් නොව තරග උපක්‍රම අතින් වුවද දකුණු අප්‍රිකානු කාන්තාවන් සිටියේ ගව් ගණනක් ඉදිරියෙනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී දකුණු අප්‍රිකානු කාන්තාවෝ පාකිස්තානු කාන්තා පිල පරදවමින් ලකුණු 150 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. එක්දින තරගයක් වුවද, අවසානයේදී ඕවර 20 ක් දක්වා අඩුකරන ලද හෙයින් මෙන්ම ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඉලක්කයද සංශෝධනය කෙරුණ නමුත් ලකුණු 150 ක දිනුමක් යනු දෙපිල අතර තිබූ නොගැලපීම මැනවින් ප්‍රකට කරන්නක් විය.
අන්තර්ජාතික විස්තර විචාරකයන්ට අනුව නම් එය පාකිස්තානු කාන්තා පිල තලා පොඩිකර දැමුණු දිනුමක් විය. එහෙත් සිංහල අපේ උරුවට (හුරුවට) කිවහොත් ඒක නම් දකුණු අප්‍රිකානු කාන්තාවන් විසින් පාකිස්තානු කාන්තා කණ්ඩායම ගල් රෝලකින් තලා කුඩුපට්ටම් කර දැමුණු තරගයකි.
වැඩේ වරද්දාගත්තේ පාකිස්තානු කාන්තාවන් විසිනි. කාසියේ වාසිය දිනාගත් ඔව්හු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. එහෙත්....
කාන්තා ක්‍රිකට් තරගයකදී කලාතුරෙකින් දැකගත හැකි චිත්තාකර්ශනීය පිතිහරඹයක යෙදුණු ලෝරා වූල්වාර්ත් (90) ප්රමුඛ දකුණු අප්‍රිකානු පිතිකාරිණියෝ ඕවර 40 කින් ලකුණු 312 ක් ලබාගත්හ. එසේ වුවත්, තරගය ආරම්භ වී විනාඩි 10 ක් ඇතුළත ඇදහැළුණු වර්ෂාවෙන් ඇතිවූ බාධාව නිසා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව පාකිස්තානු කාන්තාවන්ගේ ඉලක්කය ඕවර 40 කින් ලකුණු 306 ක් ලෙස සංශෝධනය කරන ලදි.
පාකිස්තානු ඉනිම ආරම්භ වූ පසුවත් දෙවතාවක්ම වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මුල් අවස්ථාවේදී ඕවර 25 කින් ලකුණු 262 ක් ලෙසද, දෙවැනි අවස්ථාවේදී ඕවර 20 කින් 234 ක් ලෙසින් ද පාකිස්තානු කාන්තාවන්ගේ ඉලක්කය සංශෝධනය කෙරිණ. එහෙත් දකුණු අප්‍රිකානු කාන්තාවන් කළ වික්‍රමාන්විත පිතිහරඹය නිසා පාකිස්තානු කාන්තාවන්ගේ ඉලක්කය ඉසිලිය නොහෙන තරම් විශාල විය.
ඕවර 20 ක් අවසානයේදී ලකුණු 83 කට කඩුලු 7 ක් අහිමි කරගැනීමෙන් පසුව පාකිස්තානු කාන්තාවෝ පරාජය පිළිගත්හ.
මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින දකුණු අප්‍රිකානු කාන්තාවෝ අද දිනයේ කළ පිතිහරඹයෙන් පෙන්නුම් කළේ ලෝකයේ හොඳම කණ්ඩායම් 4 අතරට යාමට තමන්ට සියලුම සුදුසුකම් ඇති බවයි.
තරගය ආරම්භ වී යැවුණු දෙවැනි ඕවරයේදීම ටැස්මින් බි්‍රට්ස් ලකුණු නොලබා දැවී ගියාය. එතැන් සිට දිගහැරුණේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය කලාත්මක පිතිහරඹයකි.
වර්ෂාවෙන් පසුව සුනේ ලූස් (61) සමගින් එක්වූ ලෝරා වූල්වාර්ත් (90) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක් එක් කළාය. පන්දු 92 කින් ගලා ආ එම ලකුණු 117 ට අනුව තරගයේ තාලය වෙනස් විය. සුනේ ලූස් පන්දු 55 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර අලංකාර ස්ක්වෙයාර් කට් පහරකින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ ලෝරා පන්දු42 කින් අර්ධ ශතකය සම්පූර්ණ කළාය.
මේ දෙදෙනා දැවීයාමෙන් පසුව මෙරිසෑන් කප් (නොදැවී 68), චෝල් ටි්‍රයොන් (21) සහ නඩීන් ඩි’ක්ලර්ක් (41) පාකිස්තානු පන්දු යවන්නියන්ව සෙල්ලමකට ගත්හ. තිදෙනා අතුරින් නඩීන් ඩි’ක්ලර්ල්ගේ ලකුණු 41 වෙනුවෙන් වැයවූයේ පන්දු 16 කි. හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇයගේ ඉනිමට ඇතුළත් විය.
ලෝක කුසලාන තරගවලදී ලකුණු 1000 කඩඉම පසුකර ගිය ලෝරා වූල්වාර්ත්, එම කඩඉම පසුකළ ක්‍රීඩිකාවන් අතර වේගවත්ම ක්‍රීඩිකාව වූවාය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙළ පැමිණි පිතිකාරිණියන් වූ චාලට් එඩ්වඩ්ස් (24) සහ බෙලින්ඩා ක්ලාක් (22) පරදවමින් ලෝරා වූල්වාර්ත් නවසීලන්ත ක්‍රීඩිකා සුසී බේට්ස් (21) සමග සමතැන් ගත්තේ සිය 21 වැනි ලෝක කුසලාන තරගයේදී ලකණු 1000 කඩඉම පසුකරමිනි.
සාදියා ඉක්බාල් (63/3) සහ නශ්රා සන්ධු (45/3) කඩුලු 6 ක් බෙදාහදාගත් නමුත් දකුණු අප්‍රිකානු කාන්තාවන් ලකුණු 300 කඩඉම පසුකර ගියේ දැවියාම ගැන වගේ වගක් නැති ලෙසිනි.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම - ඕවර 40 කදී කඩුලු 9 ට 312 යි
(ලෝරා වූල්වාර්ත් 90, සුනේ ලූස් 61, මෙරිසෑන් කප් නොදැවී 68, චෝල් ටි්‍රයොන් 21, නඩීන් ඩි’ක්ලර්ක් 41, සාදියා ඉක්බාල් 63/3, නශ්රා සන්ධු 45/3)
පාකිස්තානු කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 ට 83 යි
(සිද්රා අමීන් 13, නතාලියා පර්වේස් 20, සිද්රා නවාස් නොදැවී 22, මෙරිසාන් කප් 20/3, නොන්ඩුමිසෝ ෂැංගීස් 19/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.