විස්සයි-20 ලෝක කුසලාන
දකුණු අප්‍රිකානුවෝ දෙවැනි සුපිරි ඕවරයේදී ජයගනිති
දකුණු අප්‍රිකාව ඇතුළත් ‘ඩී’ කාණ්ඩය සැලකෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ අසීරුතම කාණ්ඩය ලෙසිනි. නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය යන කණ්ඩායම් තුනෙන් සුපිරි 8 දෙනා අතරට යා හැකිවන්නේ කණ්ඩායම් දෙකකට පමණි.
මෙම කාණ්ඩයේ පවතින තරගකාරීත්වය කදිමට සනාථ කෙරුණු, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අහමදාබාද් නුවරදී අද (11 වැනිදා) පැවැති තරගය දෙවැනි සුපිරි ඕවරය දක්වාම ඇදි ගියේය. විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට, පිට පිටම පැවැති දෙවැනි සුපිරි ඕවරයේදී දකුණු අප්‍රිකානුවෝ ලකුණු 4 ක සියුම් ජයක් ලබාගත්හ.
නියමිත ඕවර 20 නිමාවේදී දෙපිලම ලකුණු 187 ක් බැගින් ලබාගත් හෙයින් පළමු සුපිරි ඕවරය ක්‍රියාත්මක වූ අතර එහිදීත් දෙපිලම ලකුණු 17 ක් බැගින් ලබාගත්හ.
ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායි යැවූ දෙවැනි සුපිරි ඕවරයේදී දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 6, 1, 2, 6, 6 සහ 2 ක් වශයෙන් ලකුණු 23 කි.
පන්දු 4 ක් ඉතිරිව තිබියදීත්, තරගය ජයගැනීමට ඇෆ්ඝනිස්ථානු පිලට ලකුණු 24 ක් අවශ්‍ය ව තිබිණ. කේෂව් මහාරාජ් හමුවේ පිට පිටම හයේ පහර තුනක් ගැසූ රමනුල්ලා ගුර්බාස් සිව්වැනි පන්දුවටත් හයේ පහරක් ගසමින් දකුණු අප්‍රිකානුවන්ගේ නලලත රැළි නැංවූ නමුත් අනතුරුව යැවුණු පන්දුව වයිඩ් පන්දුවක් විය.
එවර ඉලක්කය පන්දුවකින් ලකුණු 5 ක් වූ අතර යම් හෙයකින් අවසන් පන්දුවට හතරේ පහරක් වැදුණේ නම් නැවත වතාවක් තරගය සමවීමේ අවස්ථාවක් තිබිණ. එහෙත් අවසන් පන්දුවේදී ‘පොයින්ට්’ හි සිටි ඩේවිඩ් මිලර් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් ගුර්බාස් දැවී ගිය අතර දකුණු අප්‍රිකාවට ලකුණු 4 ක ජයක් හිමිවිය.
දෙවැනි සුපිරි ඕවරයේදී ඇෆ්ඝනිස්ථානුවන්ගේ ලකුණු ලබගැනීම් සටහන් වූයේ 0, දැවීයාමක්, 6, 6, 6, වයිඩ් පන්දුවක් සහ දැවී යාමක් වශයෙන් ලකුණු 19 කි. තරගය ජයගත්තා නම් එය ඇෆ්ඝනිස්ථානුවන් විසින් දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු අවස්ථාව වන්නට තිබිණ.
පළමු තරගයේදී නවසීලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානුවන් අද තරගයට පිවිසියේ තරගය ජයගැනීමේ බලාපොරොත්තු ඇතිවය. මක්නිසාද යත් සුපරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා මෙම තරගයේ ජය අතිශයින් වැදගත් වන බැවිනි. කෙසේ වෙතත් අද ප්‍රතිඵලය අනුව තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා දකූණු අප්‍රිකානුවන්ට ඇත්තේ අසීරු අභියෝගයකි.
ලකුණු 188 ක ඉලක්කයක් කරා යාමට ඇෆ්ඝනිස්තානුවන් පිතිහරඹය ආරම්භ කළ අවස්ථාවේ සිටම, තරගයේ වාසිය දෙපැත්තටම වැනෙමින් පැවතිණ.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානුවෝ පළමුව පන්දු යැවීම තෝරාගත් නමුත් ක්වින්ටින් ඩි’කොක් (59) සහ රයාන් රික්ල්ටන් (61) දෙදෙනාගේ අර්ධ ශතක වලින් සවිමත් වූ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6 ට ලකුණු 187 ක් ලබාගත්හ.
ලකුණු 188 ක ඉලක්කයක් කරා යාමේදී රමනුල්ලා ගුර්බාස් පන්දු 42 කින් ලකුණු 84 ක් ලබාගත්තේ තම කණ්ඩායමට හොඳ වේදිකාවක් සකස් කරමිනි. ඉනිමේ අවසන් භාගයේදී, පන්දු 13 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටුණ නමුත් පිට පිටම හයේ පහර දෙකක් ගැසූ නූර් අහමඩ් අවසන් ඕවරයේදීත් ඇෆ්ඝනිස්ථානුවන්ගේ බලාපොරොත්තු රඳවා ගත්තේය.
පළමු සුපිරි ඕවරයටත් නොයාම තරගයේ ජය දකුණු අප්‍රිකානුවන්ට හිමිකරගත හැකිව තිබූ නමුත් කගීසෝ රබාඩා යැවූ නිපන්දුවක් සහ පන්දු දෙකක් ඉතිරිව තිබියදී ෆසල්හක් ෆාරුකී දුවද්දී දැවීයාම හේතුවෙන් තරගය දෙපිලේම ලකුණු සම විය.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කඩුලු 6 ට 187 යි
(ක්වින්ටින් ඩි’කොක් 59, රයාන් රික්ල්ටන් 61, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 23, ඩේවිඩ් මිලර් නොදැවී 20, මාකෝ යැන්සන් 16, අස්මතුල්ලා ඔමර්සායි 41/3, රෂීඩ් ඛාන් 28/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 187 යි
(රමනුල්ලා ගුර්බාස් 84, ඊබ්‍රහිම් සද්රාන් 12, ධාර්විශ් රසූලි 15, අස්මතුල්ලා ඔමර්සායි 22, රෂීඩ් ඛාන් 15, ලුන්ගි න්ගිඩි 26/3)
- 213