Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමකින් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයේ සැමරුම් නිමා වීමටත් පෙරාතුවම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම, පාකිස්තානය හමුවේ බලාපොරොත්තු නොවූ විරූ වාර්තාගත පරාජයකට මුහුණපෑවේය. තවමත් ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර ඇති අබ්දුල්ලා ශෆීක් (නොදැවී 160) එහිදී සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ ආගාධයට ඇද දැමුවේය.
ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹාගොස් ජයගත් පාකිස්තාන කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගත්තේය. ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයක ඕනෑම කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී හඹාගොස් ජයගත් දැවැන්තම ඉලක්කය මෙන්ම පාකිස්තාන කණ්ඩායමක් ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී හඹාගොස් ජයගත් දෙවැනි දැවැන්තම ඉලක්කයද එය විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළත්, දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත යැයි හැඳින්වුණ තණතීරුවකදී වේග පන්දු යවන්නන් හමුවේ ආසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට, පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 10 න් 7 කටම හිමිකම් කීමට පාකිස්ථාන වේග පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනුණ සිදුවීමක් විය.
මිචෙල් ස්ටාක්ගේ පන්දු දෙකකට පිට පිටම දැවැන්ත හයේ පහර 2 ක් එලල් කරමින් ඕස්ට්‍රේලියානුවන්ට ද්විත්ව ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල්, මෙම තරගයේදීද අගනා අර්ධ ශතක දෙකක් ලබාගනිමින් සාර්ථක පිතිහරඹයක නිරත විය. එහෙත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා එහිදී ඔහුට සෙසු පිතිකරුවන්ගේන් අවශ්‍ය සහාය ලැබුණාද යන්න විමසා බැලිය යුතු කරුණකි.
මේ වන විට දස්කම් අතර සිටින චන්දිමාල්ගෙන් කණ්ඩායමට වැඩි යමක් ලබා ගැනීම සඳහා ඔහුට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා දෙමින් අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දීමට නායක දිමුත් කරුණාරත්න පියවර ගත්තේ උප නායක ධනංජය ද සිල්වා පියවරක් පසුපසට තල්ලු කරමිනි. නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ චන්දිමාල් පළමු ඉනිමේදී ලකුණු 76 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 94 ක්ද රැස්‍කළේය.
කෙසේ වුවත් ඔහු වටා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සෙසු පිතිකරුවෝ අපොහොසත් වූහ. දෙවැනි ඉනිමේදී ඕෂධ ප්‍රනාන්දු (64) සහ කුසල් මෙන්ඩිස් (76) අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද, පළමු ඉනිමේදී ලක්වූ පසුබෑම මඟහරවා ගැනීමට තරම් එම ඉනිම් ප්‍රමාණවත් නොවීය. නායක දිමුත් කරුණාරත්නගෙන් (1 සහ 16) මෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන්ද (0 සහ 9) එහිදී කණ්ඩායම බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීය.
සහායට කිසිවකු නොමැති වීම හේතුවෙන් පළමු ඉනිමේදී ලකුණු රැස්කිරීම වේගවත් කිරීමට උත්සාහ ගෙත් චන්දිමාල්, 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි යසීර් ෂා සිය ගුවනට මුසුවෙමින් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනි. දෙවැනි ඉනිමේදීද චන්දිමාල්ට ශතකය පෙනි පෙනී තිබියදී නොදැවුණ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවූයේ සෙසු පිතිකරුවන් සියලු දෙනා දැවී යෑම හේතුවෙනි.
එහිදී උප නායක ධනංජය ද සිල්වා (14 සහ 20) හෝ නිරෝෂන් දික්වැල්ල වගකීමකින් යුතුව පන්දුවට පහරදුන්නා නම් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් අසරණ තත්ත්වයකට පත්නොවීමට ඉඩ තිබිණ. පිතිකරු ලැයිස්තුවට අනුව පිතිකරුවකු ලෙස නම් දරා සිටින අවසන් ක්‍රීඩකයා වන දික්වැල්ලගෙන් මෙහිදී වගකිම් ඉටුනොවුණු බව පැහැදිලිය.
එහෙත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා චන්දිමාල්ට සහාය අවශ්‍යම අවස්ථාවන්හි පන්දුවට පහරදීමට පැමිණි දික්වැල්ල පළමු ඉනිමේදී ලකුණු 4 කටද, දෙවැනි ඉනිමේදී ලකුණු 12 කටද දැවී ගියේය. එහිදී වඩාත් සැලකිය යුතු කාරණය වන්නේ ටෙස්ට් ඉනිම දෙකේදීම ඔහු මුහුණදී ඇත්තේ පන්දු 15 කට පමණක් වීමය. එහෙත් පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටින රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ ඉනිම් දෙකේදී පිළිවෙලින් පන්දු 73 කට සහ 122 කට බැගින් මුහුණදී තිබිණ.
ඕස්ට්‍රේලියානුවන් අන්ද මන්ද කරමින් සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 12 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය, මෙම තරගයේදීද තමාගේ උපරිමය ලබාදෙමින් කඩුලු 9 ක් දවාගත්තේය. එහෙත් පළමු ඉනිමේදීද බාබර් අසාම් (119) බාධකය සහ දෙවැනි ඉනිමේදී අසාද් ශෆීක් (නොදැවී 160) බාධකය බිඳදැමීට ඔහුට නොහැකි වීම හේතුවෙන් තරගයේ ප්‍රතිඵලය කණපිට හැරිණ. කෙසේ වුවත් දෙවැනි ඉනිමේදී බාබර් අසාම් දවාගැනීම සඳහා ප්‍රභාත් යොමුකළ පන්දුව විස්තර විචාරකයන්ගේ මහත් පැසසුමට ලක් විය.
එහිදී අවධානට යොමුකළ යුතු කාරණය වන්නේ තරගය පුරා පාකිස්ථාන කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 16 න් 9 කටම හිමිකම් කීමට ප්‍රභාත් සමත් වෙද්දී, සෙසු පන්දු යවන්නන් සිවුදෙනා අතර බෙදී ගියේ කඩුලු 7 ක් පමණක් වීමය. ඉන් කඩුලු 3 ක් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස්ද, කඩුලු 2 ක් දවාගැනීමට මහීෂ් තීක්ෂණද සමත්ව තිබූ අතර කසුන් රාජිතට සහ ධනංජය ද සිල්වාට දවගත හැකි වී තිබුණේ එක් කඩුල්ල බැගිනි.
තරගයෙන් අනතුරව නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ මෙම තරගයේදී ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම විශිෂ්ඨ මට්ටමක තිබූ බවත්, පන්දු යැවීමේ බළෑණියක් ලෙස ගත් කළ සෙසු පන්දු යවන්නන්ගෙන් ඔහුට මීට වඩා සහයෝගයක් ලැබිය යුතුව තිබූ බවත්ය. ඉහත සඳහන් දත්ත මගින් මෙන්ම නායකයාගේ ප්‍රකාශය තුළින්ද පෙනී යන්නේ කණ්ඩායමට සෙසු පන්දු යවන්නන්ගෙන් මීට වඩා යමක් ලැබිය යුතුව තිබූ බවය.
ක්‍රිකට් ක්‍රීඩාවේදී ජයග්‍රහණය ලබාගැනීම සඳහා ක්‍රීඩයකන්ගේ පෞද්ගලික දක්ෂතා කොපමණ ඉහළ තත්ත්වයක තිබුණද ප්‍රමාණවත් නොවන බව පසක් කිරීම සඳහා මෙම තරගය මනා නිදසුනක් වනු ඇත. එබැවින් මේ වන විට ඉහළ දස්කම් අතර සිටින ක්‍රීඩකයන් පත් කර ගනිමින් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවීම සඳහා පිතිකරුවන් හා පන්දුයවන්නන් සමබරතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බව අවසන් වශයෙන් පැවසිය හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.