Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රභාත්

ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රභාත්

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ‍ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබ ඇත. ඔහුට ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකය‍ා බවට පත්වීමට අවස්ථාව උදා වී ඇත්තේ සහභාගි වූ පළමු ටෙස්ට් තරග 3 දී කඩුලු 29 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙනි.

 පසුගිය ජූනි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා සිටි එංගලන්තයේ ජොනී බෙයාස්ටෝ මෙන්ම ප්‍රංශයේ ‍යොවුන් ක්‍රීඩක ගස්ටව් මැකෝන්ද ප්‍රභාත්ට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ. කෙසේ වුවත් එහිදී ඔවුන් දෙදෙනා පරාජය කරමින් පළමු වරට එම සම්මානයට හිමිකම් කීමට ප්‍රභාත් සමත් විය.

ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රභාත්, සිය මංගල ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය. කඩුලු 12 ක් දවාගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ප්‍රභාත් එම තරගයේ වීරයා බවට පත් වූ අතර ශ්‍රී ලංකාවට 1-1 ‍ක් ලෙස තරගාවලිය සම කිරීමේ අවස්ථාවද උදා විය.

ඉන් අනතුරුව පාකිස්තානයට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 17 ක් දවාගත් ප්‍රභාත් එම තරගාවල‍ියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 20.37 ක අගයක් ගත්තේය.

“මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා. ඒ සඳහා මා වෙනුවෙන් මනාපය පළ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම එය මට ඉතාමත් සුවිශේෂී මාසයක්. ඒ මම ටෙස්ට් වරම් දිනාගැනීම නිසා විතරක් නෙමෙයි, ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව තරගාවලි සම කිරීම සඳහා කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකි වීමත් ඒකට ලොකු හේතුවක්.” යැයි ප්‍රභාත් පැවසීය.

“මම මෙය අවස්ථාවක් කරගන්නවා ‍මගේ රසිකයන්ට, කණ්ඩායමේ සාමාජිකයන්ට, පුහුණුකරුවන්ට, පවුලේ උදවියට සහ මගේ මිතුරන්ට ස්තූති කරන්න. මේ දක්වා මම පැමිණි ගමනේදී ඒ අය මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලබාගත්ත අත්දැකීම් සම්බන්ධයෙන්ද මම හුඟක් සතුටට පත්වෙනවා.” යැයිද ප්‍රභාත් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.


අදහස් (0)

ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රභාත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.