Last Update  :  2025-09-18 08:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික පාසල් වුෂු තරගාවලියට සුදුසුකම් නොමැති විනිසුරුවෝ

ජාතික පාසල් වුෂු තරගාවලියට සුදුසුකම් නොමැති විනිසුරුවෝ

editorial - 2025 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඕෂිත වරකපිටිය)

මෙවර ජාතික පාසල් වුෂු තරගාවලියේ විනිශ්චය කටයුතු වෙනුවෙන් සුදුසුකම් නොමැති විනිසුරුවන් යෙදවීම නිසා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැටළු රාශියකට මුහුණ පා සිටින බව වුෂු සම්මේලනය චෝදනා කරයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාගාරයේදී අද (12 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වුෂු තරග පැවැත්වීමේ බලය ඇත්තේ ශ්‍රි ලංකා වුෂු සම්මේලනයට වුවත්, සිය සංගමයට අනුබද්ධ සාමාජිකයෙකු වන පාසල් වුෂු සම්මේලනය මේ දිනවල (12,13,14) පැවැත්වෙන පාසල් වුෂු තරගාවලිය විනිශ්චය කිරීම සඳහා අත්තනෝමතිකව විනිසුරුවරුන් තෝරාගෙන ඇති බවයි.

පාසල් වූෂූ තරගාවලිය සන්දා සහ තාඔළු යන අංශ දෙකින්ම සමන්විත යුතු වුවද, සන්දා (සටන්) අංශයේ තරග ඉසව් නොමැතිව  තාඔළු (නර්තන) ඉසව් පමණක් පාසල් තරගාවලියට ඇතුළත් කිරීම නිසා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අසාධාරණයට ලක් වන බවද වූෂූ සම්මේලනය කියයි.

පාසල් වූෂූ තරගාවලිය සඳහා සුදුසුකම් නොමැති විනිසුරුවන් යෙදෙවීම හේතුවෙන් එළඹෙන අන්තර්ජාතික තරගාවලි සඳහා දක්ෂ ක්‍රීඩකයින් තෝරාගැනීමේදී දැඩි ගැටළුවකට මුහුණ දිය හැකි බවත් ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ හිටපු සභාපතිවරයා මෙන්ම අන්තර්ජාතික වූෂූ විනිසුරැ මානෙල් ධර්මකීර්ති මහතා කියයි.

මෙම තරගාවලිය විනිශ්චය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් වූෂූ සම්මේලනයෙන් විනිසුරුවරුන් ඉල්ලා එවූ ලිපිය පෙන්වමින් ධර්මකීර්ති මහතා කියා සිටියේ ශ්‍රී ලංකා වුෂූ විනිසුරු සභාව විසින් ඒ සඳහා විනිසුරුවරුන් 15 දෙනකු නම්කර යැවූ නමුත් පාසල් වූෂූ තරගාවලිය සඳහා නම්කරන ලද විනිසුරුවරුන් 26 දෙනා අතර විනිසුරු සභාවෙන් නම්කරන ලද කිසිවකු නොමැති බවයි.

තරගාවලියේ අභියාචන මණ්ඩලයට වුෂු විනිශ්චය සම්බන්ධයෙන් ඉහළම දැනුමක් ඇති පිරිසක් සිටිය යුතු නමුත් අධ්‍යාපන අමාත්‍යශංයේ ඉහළ නිළධාරීන් එම මණ්ඩලයට යොදවා ගැනීම හාස්‍යයට කරුණක් බවද වූෂූ සම්මේලනය කියයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක කර්නල් අනුර අබේවික්‍රම, හා වත්මන් පාසල් වුෂු සංගමයේ ලේකම්වරයාට මෙම චෝදනා එල්ල වී තිබේ.

චීනයේ බීජිං නුවරදී 2026 වසරේදෙ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක කණිෂ්ඨ වුෂූ  තරගාවලිය සඳහා තෝරාගත යුතු වන්නේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ලබන වසරේ අගෝස්තු මාසයේදී සෙනගාලයේදී පැවැත්වෙන ලෝක  යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් තේරීමේ තරගාවලිය වන්නේත් බීජිං හි පැවැත්වෙන ලෝක කනිෂ්ඨ වූෂූ ශූරතාවලිය වන බැවින් මෙවැනි පාසල් තරගාවලි නිසිපරිදි නොපැවැත්වීම පාසල් වූෂූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන බලවත් අසාධාරණයක බවත් සම්මේලනය කියයි.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ සභාපති විජිත් එදිරිසිංහ, එහි මහලේකම් කිත්සිරි සුබසිංහ, ප්‍රධාන විධායක නිළධාරී රුචිර බෝධිනා‍ගොඩ, උප සභාපති ආනන්ද කුමාර හා අන්තර්ජාතික වුෂු විනිසුරු චානක සජිත් ඇතුළු පිරිස සහභාගි වූහ. එහෙත් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ උප සභාපතිවරයා වන සමන් මංජුල මහතා පැමිණ නොසිටියේය.

සමන් මංජුල මහතා පාසල් වූෂූ සංගමයේ සභාපතිවරයා වුවද හෙතෙම පාසල් තරගාවලියටත් පැමිණ නොසිටි බවත් වාර්තා වේ.


අදහස් (0)

ජාතික පාසල් වුෂු තරගාවලියට සුදුසුකම් නොමැති විනිසුරුවෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.