Last Update  :  2026-03-14 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජේඩ්න් ශතකයකින් තෝමසුවන් පිනවයි
147 වැනි නිල් මහ සටන

ජේඩ්න් ශතකයකින් තෝමසුවන් පිනවයි

editorial - 2026 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

දින තුනක් පුරා යැවුණු ඕවර 266 කින් දෙපිලේම පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 739 කි. එබැවින් රාජකීය - සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 147 වැනි නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වීම අරුමයක් නොවේ.

උද්වේගකර බවක් නොතිබුණු තරගය පිළිබඳ සුවිශේෂී සටහනක් ඉදිරියේ එන සමරු කලාප වලට ඉතිරි කළ සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ජේඩ්න් අමරවීර, මුල් ඉනිමේදී ලබාගත් අර්ධ ශතකය, දෙවැනි ඉනිමේදී ශතකක් කරා ඉදිරියට ගෙන යමින් සාන්ත තෝමස් විදුහලේ සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේත් විද්‍යලාභිමානය ඉහළ තලයකට ගෙන ගියේය. 

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති මෙම තරගය අද (14 වැනිදා) සවස නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමස් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිම ආරම්භයේ පටන්ම පන්දුවට පහර දෙමින් සිටි ජේඩ්න් අමරවීර, විනාඩි 225 කට පසුව සිය ශතකය සම්පූර්ණ කිරීමත් සමගින් තරගය නතර කෙරුණේ තරගයේ විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ බැවිනි. 

අනෙක් අන්තයේ සිටි සහායක පිතිකරුවන් සමාන කාල ප්‍රාන්තර අතරේ දැවී යද්දී, තම පිතිහරඹය කෙරේ තබාගත යුතු ඒකාග්‍රතාව මැනවින් රැකගත් අමරවීර, පන්දු 162 කට මුහුණ දෙමින් හතරේ පහර 9 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය. 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ අතුරින් ඉතාම වේගවත් තණ පළසක් හිමි එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී, දෙපිලේම  පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 2.78 ක් විය. තරගයට මෙම ඉරණම අත්වූයේ සාන්ත තෝමසුවන් මුල් ඉනිමේදී කළ මන්දගාමී පිතිහරඹය හේතුවෙනි. එහෙත් රාජකීය පිතිකරුවෝත් සිය ලකුණු 261 වෙනුවෙන් ඕවර 86 ක් කා දැමූහ. 

තරගයේ වීරයා මෙන්ම දක්‍ෂතම පිතිකරුවා වශයෙන් ඉනිම දෙකේදීම ලකුණු 152 ක් ලබාගත් ජේඩ්න් අමරවීර සම්මාන දිනාගත්තේය. දක්‍ෂතම පන්දු යවන්නා ලෙසින් ගගන් ගමගේ ත්‍යාග හිමිකරගත් අතර උදාන්ත ගඟේවත්ත දක්‍ෂතම පන්දු රකින්නා ලෙස සම්මානයට පාත්‍ර විය. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් එහි ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ඩී.එස්. සේනානායක අනුස්මරණ පළිහ, ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා විසින් දෙපිලේ නායකයන් වන අවිනාශ් ප්‍රනාන්දු සහ රෙහාන් පීරිස් වෙත පිරිනමන ලද අවස්ථාව. සාන්ත තෝමස් විද්‍යාලයේ පාලක අසංක පෙරේරා මහතා සහ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතාත් වේදිකාවේ සිටිති. 

 

සාන්ත තෝමස් විදුහල - මුල් ඉනිම 302 යි
(ජේඩ්න් අමරවීර 52, අවිනාශ් ප්‍රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, ඒරන් කොඩිතුවක්කු 12, රොෂේන් සොලමන් 66, රෆායෙල් හෙට්ටිගේ 20, ලුදිෂ මාතරගේ 23, ගිම්හාන් මෙන්ඩිස් 13, ගගන් ගමගේ 49/4, එස්. සූරියාරච්චි 64/3, හිමරු ද සිල්වා 44/2)

රාජකීය විදුහල - පළමු ඉනිම කඩුලු 9 ට 261 යි
(රොහාන් පීරිස් 63, උදාන්ත ගණේවත්ත 18, විමත් දින්සර 11, රුමිරු පෙරේරා 82, යූ. දුනුවිල 33, එස්. සූරියාරච්චි 13, ගිම්හාන් මෙන්ඩිස් 60/4, ඒ. පරණවිතාන 59/2) 

සාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 6 ට 176 යි
(ජේඩ්න් අමරවීර නොදැවී 100, මෙතුක ගුණරත්න 21, ලුදිෂ මාතරගේ 17, ගගන් ගමගේ 32/2, එම්. කොඩිතුවක්කු 10/2)

 


අදහස් (0)

ජේඩ්න් ශතකයකින් තෝමසුවන් පිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.