Last Update  :  2025-05-05 17:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමික - දීමන්ත පරතරය තත්පර 21කට අඩුවෙයි

චාමික - දීමන්ත පරතරය තත්පර 21කට අඩුවෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනතුරු කීපයකින් තරගකරුවන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවූ ටෙලිකොම් ‘ස්පීඩ් අප්’ පාපැදි සවාරියේ අද (28) පැවැති සිව්වැනි අදියර තරගය ගුවන් හමුදා ක්‍රීඩක සංජු කුමාර ජය ගත්තේය.

දඹුල්ලේ සිට බදුල්ල දක්වා කිලෝමීටර 147.5ක් වූ කඳු හෙල් හා අනතුරුදායක වංගුවලින් ගහණ සිව්වැනි අදියර තරගයේ ජයග්‍රාහණය අද උදාකර ගත් සංජුට ඒ වනවිට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට තවත් අඩුව තිබුණේ තවත් තත්ත්පර 21ක් පමණි.

සිව් වැනි අදියර තරගය නිමා වනවිටත් සමස්ත තරගයේ  පෙරමුණ රැකගෙන සිටි ටෙලිකොම් ක්‍රීඩක චාමික සඳුන් කුමාරට ඒ අනුව හෙට (29) පැවැත්වෙන පස්වැනි (අවසන්) අදියර  තරගය වඩාත් අභියෝගයක් බවට පත්ව තිබේ.

තරගකරුවන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් සිව්වැනි අදියර තරගය ආරම්භයේදීම බකමූණ නවය කණුව අසලදී බස්රථයක ගැටීමෙන් වරාය ක්‍රීඩක කසුන් නිමේෂ් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණි. එම ක්‍රීඩකයා පෙරේදා (26) දක්වා තරගයේ දෙවැනි අදියර නිමාවන විට සමස්ත තරගයේ පෙරමුණේ සිටි ක්‍රීඩකයෙකි.

 තරගය අතරතුරදී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලද යුදහමුදා ක්‍රීඩක ඩී.එච්. චතුරංග මහියංගනය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණුනි. සිය පාපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පල්ලමකට ඇදී ගිය ඔහු කාණුවක වැටී සිටියදී රෝහල් ගත කරන විට ඔහුගේ ආරක්‍ෂිත හිස් වැසුමට දැඩි හානි සිදුව තිබූ බවද වාර්තාවේ.

තරග ගමන් මාර්ගයේ ඇතැම් තැන් දැඩි පටු ස්වභාවයක් ගැනීමත් එහි ඇතැම් ස්ථාන අලුත්වැඩියා කරමින් පැවතීම නිසාත් තරගකරුවන් වඩාත් දුෂ්කරතාවයට පත්වූ බවක් පෙණුනි. එවැනි මාර්ගයේ ඇතැම් අනතුරුදායක තැන් පිළිබඳව තරගකරුවන් දැනුවත් කිරීමට තරග විනිසුරුවන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

මේ අතර අද තරගයේදී තවත් විශේෂ සිදුවීමක් වූයේ ප්‍රධාන තරග විනිසුරු සුමිත් බාලසූරිය මහතාට පරුෂ වචනයෙන් බැණ වැදීමේ චෝදනා ලද පොලිස් ක්‍රීඩා සමාජයේ කළමනාකරු අද තරගයට සහභාගිවීම විනිසුරු මඩුල්ල  විසින් තහනම් කිරීමය.

විනිසුරු  මඩුල්ල අද ගත් සෙසු තීරණ අතර තගරයට බාධා ගෙනදෙමින්  හැසිරීමේ චෝදනා මත නාවික හමුදා, දෙහිවල ගල්කිස්ස හා වරාය යන ක්‍රීඩා සමාජවල පසුගමන් යන ආධාරකරුවන් ගණනාවකට දඩ මුදල් නියම කිරීමය.

ඒ අතර රංජිත් අනුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක නුවන් වැලිවත්ත තරගකරවකුට බාධා කිරීමට දැරූ බව කියන චෝදනාවකට දඩ මුදලක් නියම කෙරුණි.

සිව්වැනි අදියර තරගය නිමාවට පත්වන විට ගමන් මාර්ගයේ තැන ගැන සිදුවූ අනතුරුවලින් පොලිස් ක්‍රීඩක දිනේෂ් චාමර හා වරාය ක්‍රීඩක රුක්ෂාන් රෆික් මහියංගන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව අද දිනය මෙවර ටෙලිකොම් පාපැදි සවාරියේ විශේෂ සිදුවීම් ගණනාවක්ම වාර්තා වූ දිනයක් වීම කැපී පෙනේ.

මෙවර තරගයට සහභාගිවී සිටින තරගකරුවන් අතර වයස්ගතම ක්‍රීඩකයා බවට පත්ව සිටින 51 හැවිරිදි හර්ෂ ජයසුන්දර මීගමුව රෝහලේ මුඛ හා හනුක විශේෂඥ වෛද්‍යවරයෙකුවීම කැපී පෙනේ. නෙලදර්ලන්තයේදී වෛද්‍ය විද්‍යාව හදාරන අතර එහිදී පාපැදි තරග නැරඹීමෙන් පාපැදි ක්‍රීඩාවට අවතීර්ණ වූ බව හර්ෂ ලංකාදීපයට පැවැසීය.

දින හතර පුරාම සාර්ථකව තරගය අවසන් කළ ඔහු හෙට තරගයේ පස්වැනි (අවසන්) අදියරට ද සහභාගිවීමට නියමිතය.

 අද කිලෝමීටර් 161.5ක් දුර වන අවසන් අදියර බදුල්ලේ සිට ඇඹිලිපිටිය දක්වා පැමිණීමෙන් මෙවර ටෙලිකොම් - ස්පීඞ් අප් පාපාදි සවාරිය ද නිමාවට පත්වේ. ඊට සමගාමීව අද පෙරවරු 8.30ට රත්නපුරය සිට ඇඹිලිපිටිය දක්වා (කිලෝමීටර් 72) කාන්තා විවෘත පාපැදි තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

හෙට අවසන් අදියර දහවල් 12ට ආරම්භ වන අතර ඒ සඳහා තරගකරුවෝ 68 දෙනක් සහභාගි වෙති.

සිව්වැනි අදියර 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවෝ.

1. සංජු දිමන්ත (ගුවන් හමුදාව - පැය 3:57.51)
2. දර්ශන ප්‍රසාද් (ගුවන් හමුදාව - පැය 3:57.53)
3.හේමන්ත කුමාර (නාවික හමුදාව - පැය 3:58.45)
4. නිහාල් සිල්වා (නාවික හමුදාව - පැය  3:58.48)
5. සී.එම්. විරාන් (වරාය - පැය 3:58.49)
6. සුවාරිස් ප්‍රේමචන්ද්‍ර (දෙහිවල/ගල්කිස්ස - පැය 3:59.09)
7. සුරංග රණවීර (යුදහමුදාව - පැය 3:59.09)
8. ගීත් ද සිල්වා (නාවික හමුදාව - පැය 3:59.21)
9. ලක්‍ෂ්මන් විජේරත්න (යුද හමුදාව - පැය 3:59.21)
10. චතුර මධුශාන් (දෙහිවල/ගල්කිස්ස - පැය  3:59.21)

 

සිව්වැනි දිනය අවසානයේ සමස්ත තරග ප්‍රතිඵල
1. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් - පැය 15:04.43)
2. සන්ජු දීමන්ත කුමාර (ගුවන් හමුදාව - 15:05.04)
3. සී.එම් විරාන් (ටෙලිකොම් - 15:06.33)


අදහස් (0)

චාමික - දීමන්ත පරතරය තත්පර 21කට අඩුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.