Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමික තනි අතින් ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි

චාමික තනි අතින් ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි

editorial - 2025 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන වයස 19 ක් පහළ කණ්ඩායම අතර ඩුබායි නුවර අයි.සී.සී. විද්‍යායතන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (15 වැනිදා) සමත් විය. 

මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පත්විය. මින් පෙර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමද මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ‘බී’ කාණ්ඩායේ අපරාජිත කණ්ඩායම තීරණය කෙරෙන තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අනිද්දා (17 වැනිදා) පැවැත්වේ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ චාමික හීනටිගල, පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ තරගයේ වීරයා සම්මානයද තමන් සතුකර ගනිමිනි. 

මුලු ලකුණු සංඛ්‍යාව 186 ක් වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ 6 වැනි කඩුල්ලත් බිඳවැටුණු අතර 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුල්නිත් සිගේරා (22) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 31 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චාමික සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන ආවේය. 

අතිරේක ක්‍රීඩකයකු වූ නසිෆුල්ලා අමිරිගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම හේතුවෙන් 47 වැනි ඕවරයේදී දුල්නිත් දැවී යෑමත් සමග යළිත් තරගයේ පාලනය තමන් නතුකර ගැනීමට ඇෆ්ඝනිස්ථාන යොවුන් ක්‍රීඩකයන් සමත් වූයේ එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එක්වන විට ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ 8 වැනි කඩුල්ලත් බිඳ දමමිනි. 

කෙසේ වුවත් සටන අත් නොහළ චාමික, අවසන් ඕවරය දක්වාම තරගය ඇදගෙන ගිය අතර අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 8 පළමු පන්දු දෙකේදී තනි අතින් එල්ල කළ හයේ පහරකින් සහ හතරේ පහරකින් සපුරාගනිමින් සිය කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් අත්කර දුන්නේය. කවිජ ගමගේ පන්දු 46 කින් ලකුණු 34 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

ආරම්භක පිතිකරු විරාන් චමුදිත පන්දු 83 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 62 ක් රැස්රමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. දිමන්ත මහවිතාන (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විරාන් සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ දිමන්තගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථාන යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඔස්මාන් සදාත් පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 52 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ දුල්නිත් සිගේරා ලකුණු 33 කට කඩුලු 3 ක්ද, සෙත්මික සෙනෙවිරත්න ලකුණු 49 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූ අතර ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් චාමික හීනටිගල සහ රසිත් නිම්සර කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

 

ඇෆ්ඝනිස්ථාන 19 න් පහළ පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 235
(ඔස්මාන් සදාත් 52, ෆයිසාල් ශිනොසාදා 39, උසයිරුල්ලා නියාසායි 25, මෙහෙබූබ් ඛාන් 25, අසිසුල්ලා මියාඛිල් 31, නූරිස්තානි ඔමර්සායි 29, දුල්නිත් සිගේරා 33/3, සෙත්මික සෙනෙවිරත්න 49/3, චාමික හීනටිගල 33/2, රසිත් නිම්සර 42/2) 

ශ්‍රී ලංකා 19 න් පහළ පිල - ඕවර 49.2 කදී කඩුලු 8 ක් දැවී 238
(දිමන්ත මහවිතාන 27, විරාන් චමුදිත 62, කවිජ ගමගේ 34, විමත් දින්සර 15, චාමික හීනටිගල නොදැවී 51, දුල්නිත් සිගේරා 22, නූරිස්තානි ඔමර්සායි 52/3) 

 

-036 


අදහස් (0)

චාමික තනි අතින් ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.