
(රොෂාන් ගුණරත්න)
අයි.සී.සී. විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී පියවර 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (7 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ පැතුම් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවැති පළමු තරගයේදී ලකුණු 36 ක් ලබාගැනීමත් සමගින් පැතුම් නිස්සංකගේ විස්සයි20 ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 689 දක්වා ඉහළ ගියේය. ඒ අනුව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී පැතුම් ලබාගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව බවටද වාර්තා විය.
ලකුණු 38 ක් ලබාගත් චරිත් අසලංක අයි.සී.සී. විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 14 ක් ඉදිරියට පැමිණීමට සමත්විය. 29 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි චරිත්ගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 529 කි.
ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවූ නායක දසුන් ශානක විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 4 ක් පහළට යමින් 52 වැනි ස්ථානයට පත්ව ඇත.
පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී වනිඳු හසරංග 6 වැනි ස්ථානයේම රැඳී සිටින අතර කඩුලු ලබානොගත්තද මහීෂ් තීක්‍ෂණ ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි තැනට පත්ව ඇත. දුෂ්මන්ත චමීර ස්ථාන 2 ක් පහත වැටෙමින් 31 වැනි ස්ථානයට පත්ව ඇති අතර චාමික කරුණාරත්න ස්ථාන 7 ක් ඉදිරියට එමින් 57 වැනි ස්ථානයේ රැඳී ඇත.
තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර වනිඳු හසරංග 11 වැනි ස්ථානයේම රැඳී ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවාගත් ජොෂ් හේසල්වුඩ් අයි.සී.සී විස්සයි20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත.
ඇෂ්ටන් ආගර් එක් ස්ථානයක් ඉදිරියට එමින් 11 වැනි ස්ථානයටත්, කේන් රිචඩ්සන් ස්ථාන 3 ක් ඉදිරියට එමින් 37 වැනි ස්ථානයත්, මිචෙල් ස්ටාර්ක් ස්ථාන 10 ක් ඉදිරියට එමින් 38 වැනි ස්ථානයටත් පත්ව ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු තරගයේදී අර්ධ ශතකයක් (නොදැවී 61) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඒරන් ෆින්ච් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 70 ක් ලබාගත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් 53 වැනි ස්ථානයේ සිට ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 45 වැනි ස්ථානය හිමිව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.