Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් කෝකටත් තෛලය වෙයි

චන්දිමාල් කෝකටත් තෛලය වෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැවත වතාවක් පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයට ලක්වීම නිසා බංග්ලාදේශ සංචාරය අතර මග නවතා ආපසු සියරට පැමිණීමට සිදුවන තත්ත්වයකට ඇන්ජලෝ මැතිව්ස් මුහුණ දී සිටී. බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ තුන්කොන් තරගාවලියේ ඉදිරි තරග වලදී දිනේෂ් චන්දිමාල් නායකත්වයට පත්වීමට ඉඩ ඇති බවයි.


සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකා පිලේ නායකත්වය වෙනස් කිරීමේදී ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේත් නම් ඒ සඳහා සාකච්ඡාවට බඳුන් වී තිබිණ. අවසානයේදී සීමිත ඕවර තරග වලදී නායකත්වය මැතිව්ස්ට පැවරීමට තීරණය වූ නමුත් එතෙක් එක්දින කණ්ඩායමෙන් ඉවත්ව සිටි දිනේෂ් චන්දිමාල් නැවත වරක් එක්දින කණ්ඩායමට එක්කර ගැනිණ.


චන්දිමාල් මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද දරයි.


එක්දින තරග සඳහා ප්‍රමාණවත් නොවන පිතිකරුවකු ලෙසින් හඳුන්වන ලද චන්දිමාල් නැවතත් එක්දින කණ්ඩායමට එක්වීමෙන් පසුව මුහුණ දුන් පළමු තරගයේදීම පන්දු 33 කින් ලකුණු 34 ක් ලබාගත්තේ හතරේ පහර 3 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.


බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් අද පැවැති පුහුණු සැසියට මැතිව්ස් සහභාගි නොවීය. පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ දිනේෂ් චන්දිමාල් හෙට තරගය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටියහ.


ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ අතර බංග්ලාදේශය පළමු තරගයේදීම ජයග්‍රහණය කළේ සිම්බාබ්වේ පිල පරදවමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිලාන් සමරවීර මහතා කීවේ සිම්බාබ්වේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාවේ තරමට ක්‍රීඩා නොකළ නමුත් ඉලක්කය අබියසටම ගිය බවයි.


“මෙතන තියෙන හොඳ දේ තමයි අපට තවත් තරග 3 ක් ඉතිරිවෙලා තියෙන එක”


“සිම්බාබ්වේ පිලට හමුවේ අපේ නියම දස්කම් දැකගන්න ලැබුණේ නෑ. ඒත් අපි ඉලක්කය ආසන්නයටම ආවා. අපේ නියම දස්කම් වලට ක්‍රීඩා කළොත් හෙට අපට හොඳ තරගයක් කරන්න පුළුවන් වේවි” යයි තිලාන් සමරවීර මහතා ඩකාහි වාර්තාකරුවන්ට පැවසීය.


කෙසේ වෙතත් පළමු තරගයේදී ලද පරාජය සම්බන්ධයෙන් සමරවීර මහතා එතරම් විස්සෝප නොවෙයි.


“මේ වගේ තුන්කොන් තරගාවලියකදී ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් දේ වෙන්නේ ඒවායින් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට යාමයි” යයිද සමරවීර මහතා වාර්තාකරුවන්ට පැවසීය.


අදහස් (0)

චන්දිමාල් කෝකටත් තෛලය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.