Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි

චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ පිලට එරෙහිව අනිද්දා (30) ගාල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබේ යැයි වාර්තා පළ වූ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත්ව සිටින අතර 19 හැවිරිදි වනිඳු වමතින් දඟ පන්දු යවන දක්‍ෂ පිතිකරුවෙකි.

පිට දඟ පන්දු යවන 23 හැවිරිදි අකිල ධනංජය වසර පහකට පමණ පසු නැවතත් මෙම තරගාවලියට කැඳවා ඇති අතර 24 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටියි.

ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පස්වරුවේ කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව උපදෙස් ලබාදී සංචිතයට අත්සන් තබා ඇති බව දැනගන්නට තිබේ.

‘හිරෝ’ කුසලාන සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ ලබන මස ආරම්භ වන ඉන්දීය තරගාවලියේ අවසානය දක්වා ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පෝතාස් මහතා පත්කළ බවයි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ හොඳ සංයුතියකින් යුත් සංචිතයක් ලැබී ඇති බවයි.

“ගාල්ල සහ හම්බන්තොට තණතීරු වෙනස්. වැස්සත් තියෙනවා. ඒ නිසා මේ සංචිතය එයටත් ගැලපෙනවා. මම හිතනවා තරුණ ක්‍රීඩකයන් කීපදෙනකු ඇතුළත්ව සිටීම වැඳගත් කියලා. වනිඳු අන්තර් පළාත් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් ඒ වගේම අකිල හොඳින් පන්දු යවනවා. වනිඳු සහ ළහිරු මධුසංඛ කණ්ඩායමේ සංයුතිය තබා ගැනීමට වැඳගත් වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසුවේ නවක ක්‍රීඩකයන් ඇතුළත් වීමෙන් චන්දිමාල්ට ස්ථානය අහිමිවූ බවයි.

“මෙම සංචිතය නම් කරලා තියෙන්නේ පළමු තරග දෙකට පමණයි. අපි සංචිතයට තරුණ ක්‍රීඩකයන් ඇතුළත් කළා. චන්දිමාල් පිළිබඳවත් බලනවා” යැයි ගුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට සිම්බාබ්වේ පිලේ පුහුණුකරු හීත් ස්ටි්‍රක් සහ කළමනාකරු ක්‍රිස්ටියන් චිකරා යන මහත්වරු සහභාගි වූහ. ග්‍රැහැම් ක්‍රීමර්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ පස්වරුව වන විට ගාල්ලට පැමිණ සිටියේය.

පළමු එක්දින තරග දෙක මේ මස 30 වැනිදා සහ ජූලි මස 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වේ.    

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු මධුසංඛ

 


අදහස් (0)

චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.