Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෝලි අ‍නෙක් අන්ත‍යේ සිටීම ඕනෑම පිතිකරුවකුට ලොකු ශක්තියක්
ආසියානු කුසලාන

කෝලි අ‍නෙක් අන්ත‍යේ සිටීම ඕනෑම පිතිකරුවකුට ලොකු ශක්තියක්

editorial - 2022 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

හොං කොං රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී තමා පන්දුවට පහරදීම සඳහා පිටියට යන විට විරාට් කෝලි අනෙක් අන්තයේ රැදී සිටීම තමා‍ට විශාල ශක්තියක් මෙන්ම විශ්වාසය ඉහළ නංවන්නක් වූ බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු සූර්යකුමාර් යාදව් පැවසීය. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

“ඇත්ත වශයෙන්ම කියනවා නම් කෝලි කියන්නේ විශිෂ්ඨ පිතිකරුවෙක්. ඔහු සමග එකට පිතිහරඹයේ යෙදෙනවා කියන එකත් නවක පිතිකරුවෙකුට ‍හීනයක්. විශේෂයෙන්ම ඔහු අනිත් අත්තයෙ ඉන්න එකෙන් ඕනෑම පිතිකරුවෙකුට ලකුණු කරා යෑමට අමතර ශක්තියක් ලැබෙනවා. ඒ වගේ ඕනෑම පන්දු යවන්නකුට නොබියව මුහුණදෙන්න තරම් විශ්වාසයක් ගොඩනැගෙනවා.” යැයිද යාදව් පැවසිය.

හොං කොං කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 26 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට යාදව් සමත් වූයේ පිටිය පුරා එල්ල කළ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඔහු එම ප්‍රවේගකාරී පිතිහරඹයේ නිරත වන විට සෙසු අන්තයේ රැදී සිටි කෝලි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් යාදව්ට ලකුණු කරා යෑමට අවස්ථාව සලසා දුන්නේය.

“මගේ පිතිහරඹය රටාව තරමක් වෙනස්. නිදහසේ පහර කරා යන්න මම කැමතියි. ඒත් තරගයේ පවතින අවස්ථාව අනුව හැ‍ඩ ගැහෙන්න මට පුළුවන්. මම ඒක ඉගෙන ගත්තෙ කෝලිගෙන්. කණ්ඩායමේ නායකයා වගේම පුහුණුකරුත් මට කියලා තියෙන්නෙ පීඩනයක් ගන්නෙ නැතුව මගේ විධියට ක්‍රීඩා කරන්න කියලා. මොකද මම නිදහසේ ක්‍රීඩා කළොත් කණ්ඩායමට ලකුණු එන බව එයාලා දන්නවා” යැයිද යාදව් කියා සිටියේය.

පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳවැටීමෙන් අනතුරුව පිටියට පිවිසි යාදව්ට පන්දු 18 කදී හතරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි. කඩුලු බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට යෑමේදී නෂීම් ෂාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය. ඉන් පෙනී යන්නේ කඩුල්ලේ රැදී සිටීමට වඩා නිදහසේ පහර කරා යෑමට ඉඩ දීම තුළින් ඉන්දීය කණ්ඩායමට යාදව්ගෙන් වැඩි දායකත්වයක් ලබාගත හැකි බවය.

පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී අංක 5 ස්ථානයේත්, හොං කොං රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී අංක 4 ස්ථානයේත් පන්දුවට පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යාදව් කියා සිටියේ තමාට පන්දුවට පහර දෙන ස්ථානය වැදගන් නොවන බවත්, කුමන ස්ථානයේ පන්දුවට පහරදුන්නද තමාගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු සේවය සම්බන්ධයෙන් තමා වැඩි අවදානයක් යොමු කරන බවත්ය.

“ඇත්තටම මම කවදාවත් නායකයාටවත්, පුහුණුකරුටවත් කියලා නෑ මට මේ ස්ථානයේ පන්දුවට පහර දෙන්න ඕන කියලා. මම ඔවුන්ට කියලා තියෙන්නෙ කුමන ස්ථානයේ පන්දුවට පහරදෙන්න යැවුවත් කමක් නෑ, කොහොම හරි මාව තරගයට සහභාගි කරගන්න කියලා විතරයි (සිනාසෙමින්). ලැබෙන අවස්ථාව කුමක් වුණත් ඒකෙන් කරන්න පුළුවන් උපරිමය කරලා පෙන්වන එක තමයි මගෙ වගකීම.” යැයිද යාදව් සඳහන් කළේය. 

“රිෂාබ් පාන්ට් කියන්නෙත් ඕනම වෙලාවක හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීමට හැකියාව තියෙන ක්‍රීඩකයෙක්. මෙම තරගයෙදි කණ්ඩායමට එක් වුවණත් අවාසනාවකට වගේ ඔහුට පන්දුවට පහරදීමට අවස්ථාවක් ලැබුණෙ නෑ. එත් මම හිතනවා ඉදිරියෙදි අවස්ථාවක් ලැබුණ ගමන් ඔහු සුපුරුදු දස්කම් දක්වාවි කියලා.” යැයි පාකිස්තාන තරගයේදී ඉන්දීය කණ්ඩ‍යමේ ස්ථානයක් අහිමි වූ පාන්ට් පිළිබඳව යාදව් පැවසීය.


අදහස් (0)

කෝලි අ‍නෙක් අන්ත‍යේ සිටීම ඕනෑම පිතිකරුවකුට ලොකු ශක්තියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.