Last Update  :  2025-12-08 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ පළමු ටෙස්ට් තරගය පරාජයෙන් බේරාගනිති

කොදෙව්වෝ පළමු ටෙස්ට් තරගය පරාජයෙන් බේරාගනිති

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැඩි සටනකින් අනතුරුව ජය පැරදුමකින් තොරව අවසන් කරගැනීමට කොදෙව් පිතිකරුවෝ ඊයේ (6 වැනිදා) සමත් වූහ.

තරගය නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 531 ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව්වෝ, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 457 ක් ලබා සිටියහ. 

සිවුවැනි දිනය වූ පෙරේදා (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි කොදෙව් කණ්ඩායමට, අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 319 ක් අවශ්‍ය වූ අතර නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ කඩුලු 6 ක් පමණි. කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 167 කට සීමා වී තිබීම හේතුවෙන් නවසීලන්තය මෙම තරගය පහසුවෙන්ම ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. 

එහෙත් සිවුවැනි දිනය අවසානයේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා සිටි ශායි හෝප් (නොදැවී 116) සහ ජස්ටින් ග්‍රේව්ස් (නොදැවී 55) අවසන් දිනයේදීද ඉතා අනර්ඝ පිතිහරඹයක නිරත වෙමින් එම සම්බන්ධතාව ලකුණු 196 ක් දක්වා ඉහළ දැමුවේ සිය කණ්ඩායමට තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමේ බලාපොරොත්තුවක් එක්කරමිනි. 

එහි ප්‍රතිඵලයක් ලෙස සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ දමාගැනීමට හෝප්ට හැකි වූ අතර ඔහුයේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 15 කින් සමන්විත විය. ජෙකෝබ් ඩෆීගේ පන්දුවක් හමුවේ හෝප් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ටෙවින් ඉම්ලච්ද ලකුණු 4 ක් ලබා සිටියදී සකාරි ෆෝල්ක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය. 

කෙසේ වුවත් සටන අත්නොහළ ජස්ටින් ග්‍රේව්ස්, 7 වැනි කඩුල්ල වෙනුවෙන් කේමර් රෝච් (නොදැවී 58) සමග එක්ව ලකුණු 180 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගත්තේය. 

එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලබාගැනීමට ග්‍රේව්ස් (නොදැවී 202) සමත් වූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 19 කින් සමන්විත විය. කේමර් රෝච් අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 233 ක් පුරා සිය කඩුල්ල රැකගනිමින් වීමද කැපී පෙණුන සිදුවීමක් විය. 


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 231 
(ටොම් ලේතම් 24, කේන් විලියම්සන් 52, ටොම් බ්ලන්ඩල් 29, මයිකල් බ්‍රාස්වෙල් 47, නේතන් ස්මිත් 23, ඕජේ ශීල්ඩ්ස් 34/2, ජස්ටින් ග්‍රේව්ස් 35/2, ජේඩන් සීල්ස් 44/2, කේමර් රෝච් 47/2) 

කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 167 
(ටැජනරින් චන්ද්‍රපෝල් 52, ශායි හෝප් 56, ජෙකෝබ් ඩෆී 34/5, මැට් හෙන්රි 43/3, සකාරි ෆෝල්ක්ස් 32/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 466 
(ටොම් ලේතම් 145, ඩෙවෝන් කොන්වේ 37, රචින් රවින්ද්‍ර 176, විල් යං 23, මයිකල් බ්‍රාස්වෙල් 24, කේමර් රෝච් 78/5, ඕජේ ශීල්ඩ්ස් 74/2) 

කොදෙව් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 457 
(ශායි හෝප් 140, ජස්ටින් ග්‍රේව්ස් නොදැවී 202, කේමර් රෝච් 58, ජෙකෝබ් ඩෆී 122/3) 

-036


අදහස් (0)

කොදෙව්වෝ පළමු ටෙස්ට් තරගය පරාජයෙන් බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.