Last Update  :  2026-02-12 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ එංගලන්තය පරදවති
විස්සයි 20 ලෝක කුසලාන

කොදෙව්වෝ එංගලන්තය පරදවති

editorial - 2026 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30 ක පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ගුඩකේෂ් මෝති ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මෝති එහිදී ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

එංගලන්ත ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සෑම් කරන් පන්දු 30 කින් නොදැවී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කෙසේ වුවත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 30 ක්ද, අංක 3 පිතිකරු ජෙකොබ් බෙතෙල් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 196 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහඹයක නිරත වූ ශර්ෆේන් රදර්ෆෝඩ් පන්දු 42 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.   

රොමන් පවෙල් (14) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රදර්ෆෝඩ්, ඉන් නොනැවතී ජේසන් හෝල්ඩර් (61) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

පන්දු 17 කට මුහුණදුන් හෝල්ඩර්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සමන්විත විය. රොස්ටන් චේස් පන්දු 29 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක්ද, ශිම්රන් හෙට්මෙයර් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාව ආසන්නයටම ගෙන ගියහ. 


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 196 
(ශිම්රන් හෙට්මෙයර් 23, රොස්ටන් චේස් 34, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 76 රෝමන් පවෙල් 14, ජේසන් හෝල්ඩර් 33, ආදිල් රෂීඩ් 16/2, ජෙමී ඕවර්ටන් 33/2) 

එංගලන්ත පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 166 
(පිලිප් සෝල්ට් 30, ජොස් බට්ලර් 21, ජෙකොබ් බෙතෙල් 33, හැරී බෘක් 17, සෑම් කරන් නොදැවී 43, ගුඩකේෂ් මෝති 33/3, රොස්ටන් චේස් 29/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ එංගලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.