Last Update  :  2026-03-31 11:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමතිගෙන් රතු නිවේදනයක්

ක්‍රීඩා ඇමතිගෙන් රතු නිවේදනයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශයෙන් නොමිලේ ලබාදෙන ජීවිත රක්ෂණාවරණ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීව දත්ත එවීමට මැලිකමක් දැක්වීමට තරම් අලස ජාතික ක්‍රීඩා සංගම් සමඟ තමන්ට වැඩ කිරීමට සිදුවීම ඉතා කණගාටුවට කරුණක් බවත් තමන් ඒ සඳහා සති දෙකක සහන කාලයක් ලබාදීමෙන් පසුව එය ඉටු නොකර තිබෙන ජාතික ක්‍රීඩා සංගම් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සබඳතා අත්හැර දමන බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

උදාවූ 2017 වසරේ ජාතික ක්‍රීඩා තරග දින දර්ශනය එළිදැක්වීම නිමිත්තෙන් රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයේදී ඇමැතිවරයා එසේ පැවැසීය.

එම අවස්ථාවේදී ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ඇමතූ ක්‍රීඩා ඇමැතිවරයා මෙසේද පැවැසීය. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වසරේ පටන් ක්‍රීඩා අමාත්‍යාංශය රක්ෂණ ආවරණයක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ඒ සඳහා අපි ඔවුන්ගේ ජීවන තොරතුරු ඉල්ලා යැවුවට ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නෙ ජාතික ක්‍රීඩා සංගම් 60 න් හයක් විතරයි.

රග්බි සංගමයවත් ඒ සඳහා උනන්දුවෙලා නෑ. වැඩිම ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වාර්තා වෙලා තිබෙන්නෙ රග්බි ක්‍රීඩාවෙනුයි. ඒ නිසා රග්බි සංගමයට ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් ඇතිවිය යුතුයි.

ඊළඟට නව ක්‍රීඩා රෙගුලාසි සම්මත කර ගන්න කලින් ජාතික ක්‍රීඩා සංගම්වලට දැනුම් දුන්නා ඔවුන්ගේ ව්‍යවස්ථා සංශෝධනය කර ගන්න වහාම විශේෂ මහ සභා රැස්වීම් කැඳවන්න කියලා.

දැන් අපට ඒ වැඬේ අවසන් කර ගන්න ලැබිලා නෑ. හේතුව ජාතික ක්‍රීඩා සංගම් 60න් ඒක කරලා තිබෙන්නෙ 10 ක් විතරයි. ඊළඟට අපි ජාතික ක්‍රීඩා සංගම්වලට දැනුම් දුන්නා ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා.

කණගාටුවෙන් කියන්න තියෙන්නෙ ඒකත් ඉටු කරලා තිබෙන්නෙ ජාතික ක්‍රීඩා සංගම් 60න් 14 ක් විතරයි. මෙහෙම ජාතික ක්‍රීඩා සංගම් එක්ක ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මට තවත් වැඩ කරන්න බෑ.

මම ඔවුන්ට තවත් එක අවස්ථාවක් දෙනවා. මේ වැඩ ටික ඉවර කරන්න ඔවුන්ට තවත් සති දෙකක කාලයක් විතරක් මම ලබාදෙනවා. එයින් පස්සෙ මම අකමැත්තෙන් හරි මේ කියන ජාතික ක්‍රීඩා සංගම් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය පවත්වාගෙන යන සබඳතා අත්හරිනවා.

වසර 2017 දී එතනට මාව තල්ලු කරන්න උනන්දු නොවන ලෙස මම ඒ ජාතික ක්‍රීඩා සංගම්වලට දැනුම් දෙනවා. අපට ක්‍රීඩා පනතේ සංශෝධන වැඩ කටයුතු අවසන් කරන්න තවත් තිබෙන්නෙ දින 40 ක වගේ කාලයක්.

ඒ වගේම ජාතික ක්‍රීඩා සංගම්වල කාර්යාල පවත්වා ගෙන යන්න අපි ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ලබා දුන්නා. ඒ ගැන හොයා බලන්න මා දෙවතාවක් එම ස්ථානයට ගියා.

ඒ සමහර ජාතික ක්‍රීඩා සංගම් කාර්යාලයට ලබා දුන් ඒ ඉඩකඬේ ඔවුන්ගේ බඩු මුට්ටු පුරවලා වහලා දාලා. මම නිලධාරීන්ට උපදෙස් දුන්නා කාර්යාලවලට ප්‍රයෝජන ගන්නෙ නැති සියලු ඉඩකඩ ක්‍රීඩා අමාත්‍යාංශයට යළි පවරා ගන්න.

එසේ පවර ගත්ත ඒ තැන් අපෙන් කාර්යාල පහසුකම් ඉල්ලා සිටින තවත් ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් තිබෙනවා. අන්න ඒ ජාතික ක්‍රීඩා සංගම්වලට ඒ තැන් ලබා දෙනවා.

ඒ විතරක් නෙමේ පොදුවේ සියලුම ජාතික ක්‍රීඩා සංගම්වලට ප්‍රයෝජන ගතහැකි සියලු පහසුකම් සහිත පොදු කාර්යාලයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරන්න ළඟදීම අප කටයුතු කරනවා.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමතිගෙන් රතු නිවේදනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.