
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය හෙට (7 වැනිදා) පස්වරු 6.00 ට ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසීමට නියමිතය.
ඉකුත් සඳුදා (2 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 29-22 ක ජයක් වාර්තා කරමින් සී.ආර්. කණ්ඩායම අවසන් තරගයට පිවිසි අතර හැව්ලොක්ස් කණ්ඩායමට අවසන් තරගයට සුදුුසුකම් ලබාගත්තේ අඟහරුවාදා (3 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 41-38 ක ජයක් වාර්තා කරමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ලකුණු 29-15 ක් ලෙස නාවික හමුදාව පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමත්, ලකුණු 29-10 ක් ලෙස පොලිසිය පරාජය කිරීමට හැව්ලොක්ස් කණ්ඩයමත් සමත් විය. සී.ආර්. කණ්ඩායම මෙවර ලීග් රග්බි තරගාවලියේ ශූරයන් බවටද පත්වූ අතර හැව්ලොක්ස් කණ්ඩායම එම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.
මෙවර අන්තර් සමාජ රග්බි ලීගය තුළදී මෙම කණ්ඩායම් දෙක දෙවතාවක් එකිනෙකාට එරෙහිව තරග වැදිණ. ඉන් මූලික වටය යටතේ පැවැති තරගයේදී ලකුණු 33-14 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමත්, සුපිරි වටය යටතේ පැවැති තරගයේදී ලකුණු 28-14 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක්ස් කණ්ඩායමත් සමත් විය.
1911 වසරේදී ආරම්භ වී ඇති ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලිය මේ දක්වා 90 වරක් පවත්වා ඇති අතර එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අවස්ථා 15 කදීද, හැව්ලොක්ස් කණ්ඩායම අවස්ථා 14 කදීද ශූරයන් බවට පත්ව ඇත. ඒ අනුව මෙවර අවසන් මහ තරගයේදී සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩකයන් සමත් වුවහොත්, ඔවුන්ට ජයග්‍රහණ සංඛ්‍යාව අනුව සී.ආර්. කණ්ඩායම සම කිරීමට අවස්ථාව උදාවනු ඇත.f
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.