
දැඩි පීඩනයක් යටතේ වුවත්, බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනා එක්ව තුන්වැනි දින උදෑසන එංගලන්තයේ අවාසිය ලකුණු 100 ට වඩා අඩු කළහ. නමුත් එංගලන්ත පන්දු යවන්නන්ට පීඩනය පවත්වා ගැනීමට නොහැකි වූයෙන් ඕස්ට්‍රේලියානුවෝ තරගයේ පාලනය සියතට ගත්හ.
ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවැත්වෙන තුන්වැනි අළු බඳුන තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) ට්‍රැවිස් හෙඩ් ලබාගත් ශතකය නිසා දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 4 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්හ. තරගයේ දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබෙන අතර කඩුලු 6 ක් අතැතිව සිටින ඕස්ටේ්රලියානුවෝ ලකුණු 356 ක් ඉදිරියෙන් සිටිති.
මේ තත්ත්වය අනුව නම් එංගලන්තයට මෙවර අළු බඳුන රඳවාගැනීම බෙහෙවින් අසීරු වනු ඇත. ට්‍රැවිස් හෙඩ් මෙම තරගාවලියේදී ලබාගත් දෙවැනි ශතකය මෙයයි.
හෙඩ් ලකුණු 99 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ගලී හි සිටි හැරී බෲක් විසින් බිම දමන ලදි. ඉතාමත් ඉක්මනින්ම පන්දු යවන්නාගේ හිසට ඉහළින් පන්දුව හතරේ සීමාවට යැවූ හෙඩ් සිය 11 වැනි ශතකය සම්පුර්ණ කළේය. ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව තණතීරුව සිපගත් වමත් පිතිකරුවා දිනයේ ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 142 ක් ලබා සිටියේය.
පර්ත් ටෙස්ට් තරගයේදී, නායක ස්මිත්ගෙන් අවසර අරගෙන ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසි ට්‍රැවිස් හෙඩ් මෙම ශතකයෙන් තහවුරු කළේ තමන්ට ආරම්භක පිතිකරුවාගේ කාර්ය භාරය බාරගත හැකි බවයි. කෙසේ වෙතත් එය ලෝකයේ අනෙක් පන්දු යවන්නන්ට නම් සුබ ආරංචියක් නොවනු ඇත. මක්නිසාද යත් ට්‍රැවිස් හෙඩ් හුදෙක් වමත් පිතිකරුවකු පමණක් නොව, විනාශකාරී පිතිකරුවකු ද වන බැවිනි.
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දෙවැනි ඕවරයේදීම කඩුල්ලක් දැවී ගිය නමුත් හෙඩ් සහ උස්මන් කවාජා එක්ව ලකුණු පුවරුව කරකවමින් සිටියහ. සිය ටෙස්ට් දිවියේ අවසානය අත ලඟ තිබියදී, ස්ටීවන් ස්මිත් අසනීප වීම හේතුවෙන් මෙම තරගයට එක්වීමේ අවස්ථාව ලද උස්මන් කවාජා, මුල් ඉනිමේදී ලකුණු 82 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ට්‍රැවිස් හෙඩ් සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක් එකතු කළේය.
මේ දක්වා ටෙස්ට් ශතක 11 ක් ලබා සිටින ට්‍රැවිස් හෙඩ්, එංගලන්තයට එරෙහිව ලබාගත් සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙය වන අතර ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්තා වන්නේද ඇඩිලේඩ් නුවරදීය. තේ පානයෙන් පසුව යැවුණු ඕවර 35 කින් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 152 ක් ලබාගත් අතර හෙඩ් සහ ඇලෙක්ස් කේරි අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 122 කි.
තරගය ඕස්ට්‍රේලියානුවන් ඉවතට ඇදගෙන යාමට අද උදෑසන සිටම බෙන් ස්ටෝක්ස් සූදානම් වෙමින් සිටියේය. ජොෆ්රා ආචර් සමගින් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ එංගලන්ත නායකයා අවසානයේදී මිචෙල් ස්ටාක්ට ගොදුරු විය. ස්ටාක් විසින් බෙන් ස්ටෝක්ස් දවාගත් 12 වැනි අවස්ථාව එයයි.
ස්ටෝක්ස්ගේ දැවී යාමෙන් පසුව එංගලන්ත ඉනිම දිග හැරුණේ විනාඩි 17 ක් පමණි.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 371 යි
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 286 යි
(බෙන් ඩකට් 29, ජෝ රූට් 19, හැරී බෲක් 45, බෙන් ස්ටෝස්ක් 83, ජැමී ස්මිත් 22, ජෙෆ්රා ආචර් 51, පැට් කමින්ස් 69/3, ස්කොට් බෝලන්ඩ් 45/3, නේතන් ලයන් 70/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 4 ට 271 යි
(ට්‍රැවිස් හෙඩ් නොදැවී 142, මානස් ලැබුෂේන් 13, උස්මන් කවාජා 40, ඇලෙක්ස් කේරි නොදැවී 52, ජොෂ් ටංග් 59/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.