Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධ - ධනංජය කණ්ඩායමට එක්වෙති
ගාල්ල ටෙස්ට් තරගය

ඕෂධ - ධනංජය කණ්ඩායමට එක්වෙති

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

සති දෙකකට ඉහතදී ගාල්ලේ නිමාවූ පළමු ටෙස්ට් තරගයෙන් ඉගෙන ගත් පාඩම ශ්‍රී ලාංකිකයන්ගේ මනසේ තවමත් රැඳී තිබේ. දඟ පන්දු යවන්නන්ට පමණක් යෝග්‍ය තණතීරුවක් සකස් කරමින් ඕස්ටේ්‍රලියානුවන්ට කැපූ වළේ ශ්‍රී ලංකාව වැටුණේය. එහෙත් පාකිස්තානුවන් හමුවේ එවැන්නක් කිරීම අතිශයින් අවදානම් බව නායක දිමුත් කරුණාරත්න දනී.

පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී හෙට (16 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව පිතිකරුවන්ටත්, වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ටත් එකසේ වැඩදායක තණතීරුවකි.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව, හුදෙකළාවෙන් මිදුණ නමුත්, පැතුම් නිස්සංක තවදුරටත් විවේකීව තැබීමට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ. ඒ හේතුවෙන් ඕෂධ ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පැමිණෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිපත්තිය වන්නේ කිසියම් ක්‍රීඩකයකු ආබාධයක් හෝ රෝගී තත්ත්වයක් මත කණ්ඩායමෙන් ඉවත්ව යන්නේ නම්, ඔහු නැවත පැමිණි විගසම ඔහුගේ ස්ථානය ඔහුට දීමයි. ඒ අනුව ධනංජය ද සිල්වාට හෙට තරගයේදී කණ්ඩායම් ස්ථානය හිමිවෙයි.

“ඕෂධ මාත් එක්ක ඉනිම ආරම්භ කරනවා. ධනංජයට එයාගේ ස්ථානය දීලා කමිඳු එළියට යනවා. ඒත් අංක 5 සහ 6 ස්ථාන වල පන්දුවට පහර දෙන්නේ කවුරුන්ද කියන එක ගැන අපට ආයෙමත් හිතන්න වෙනවා. ඒ කියන්නේ චන්දිමාල්ද නැත්නම් ධනංජයද කියන එක..” නායක දිමුත් කරුණාරත්න අද පස්වරුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී විස්තර කළේය.

“චන්දිමාල් මේ වෙනකොට, අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරලා, හොඳින් ලකුණු අතර ඉන්නේ. ඒ හින්දා ධනංජයටම ආයෙමත් අංක 5 දෙනවාද, නැත්නම් ලකුණු අතර ඉන්න වෙලාවේ චන්දිගෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවාද කියන එක ගැන අපට ටිකක් හිතන්න වෙනවා” යයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පැවසීය.

ඒ කුමක් වෙතත් අසිත ප්‍රනාන්දු කණ්ඩායමේ 11 දෙනා ආසන්නයටම පැමිණ සිටී. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරග දෙකේදීම අසිත සහ කසුන් දෙදෙනා හොඳින් පන්දු යැවූහ. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඕවර 8.5 ක් පමණක් යවමින් කඩුලු 2 ක් දවාගත් අසිතට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වූයේ කොරෝනා වයිරසයට ගොදුරු වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දරුණුතම සතුරා වන යසීර් ෂා කණ්ඩායමට කැඳවීමට පාකිස්තානු තේරීම් කමිටු නිලධාරීහු අවසන් මොහොතේදී තීරණය කළහ. පාකිස්තානු පිතිකරුවන් වමත් දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වන්නේ කෙසේද, ශ්‍රී ලංකා පිතිකරුවෝත්, ඒ තරමටම යසීර් ෂා හමුවේ අසරණ වී සිටිති.

2015 සිට, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 6 කදී යසීර් ෂා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 42 කි. පසුගිය වසරේදී ආබාධ කිහිපයකටම මුහුණ දුන් යසීර් දැන් සම්පූර්ණ සුවය ලබා සිටී. 36 හැවිරිදි පා දඟ පන්දු යවන්නකු වන යසීර් ෂා සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූයේ මාස 11 කට පෙර බටහිර ඉන්දීය පිලට එරෙහිව කිංග්ස්ටන්හිදීය.
මේ වන විට ටෙස්ට් තරග 46 කදී කඩුලු 235 ක් ලබාසිටින යසීර් ෂා, අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 200 කඩයිම පසුකළ ක්‍රීඩකයාය. 2015 ශ්‍රී ලංකා සංචාරයේදී යසීර් කඩුලු 24 ක් දවාගත්තේය.

ගාල්ල ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය වඩාත් සමබරය. එහි පිතිකරුවන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ට සහ දඟ පන්දු යවන්නන්ටද එක ලෙස ප්‍රයෝජන ගත හැකිය. ඒ අනුව, පාකිස්තානයද සහීන් ෂා අෆ්රීඩි ඇතුළුව වේග පන්දු යවන්නන් දෙදෙනකු සමග, දඟ පන්දු යවන්නන් දෙදෙනා වන යසීර් ෂා සහ නවුමන් අලී සමගින් තරගයට පිවිසෙනු ඇත. ඔවුන් අතරට දඟ පන්දු යැවීමේ හැකියාව ඇති මොහොමඩ් නවාස් එක්වීමේ ඉඩක්ද නැතුවා නොවේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියයේ 2021 - 2023 කාණ්ඩයට අයත් තරගාවලියකි. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති වෝන් - මුරලි තරගවලිය 1-1 ක් ලෙසින් සමවීමෙන් පසුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා (ජයග්‍රහණ ප්‍රතිශතය 57.17%) ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.

එසේ වුවත්, පාකිස්තානයට එරෙහි තරග දෙකම ජයගත්තද ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකාවට හිමිවන්නේ 63% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් තුන්වැනි ස්ථානයයි. දකුණු අප්‍රිකාව (71.43 %) සහ ඕස්ටේ්‍රලියාව (70.00%) එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති.

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලියද මෙයයි. මෙතැන් සිට ලබන වසරේ මාර්තු මාසයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට යන තුරුම, ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියක් නැත.

පාකිස්තානු නායක බාබර් අසාම් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර 4 වැනි ස්ථානය හිමි පිතකරුවා වන නමුත් තවමත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයට ක්‍රීඩා කර නැත. ගාල්ල ක්‍රීඩාංගණයේ අසිරිය ගැන බාබර් මන්මත් වී සිටී.
පාකිස්තානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වසර 7 කට පසුවය. අවසන් වරට 2015 දී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී පාකිස්තානුවෝ 2-1 ක ජයක් අත්කර ගත්හ.


ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ සහ පැතුම් නිස්සංක,

පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ශෆීක්, අසාර් අලී, ෆහීම් අශ්රෆ්, ෆවාඩ් අලාම්, හාරිස් රයුෆ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, නසීම් ශා, නවුමන් අලී, සල්මන් අලී අඝා, සර්ෆ්‍රාස් අහමඩ්, සවුද් ශකීල්, සහීන් ශා අෆ්රීඩි, ශාන් මසූඩ් සහ යසීර් ෂා

ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

ඕෂධ - ධනංජය කණ්ඩායමට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.