
(දමින්ද විජේසූරිය)
දඟ පන්දු යවන්නන් විසින්, සම්පූර්ණයෙන්ම සිය ආධිපත්‍යයට නතුකරන්නා ලද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්තය කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්තේය. පිතිකරුවන්ට අපායක් බඳු තණතීරුවකදී, ලකුණු 220 ක ඉලක්කයක් කරා ගිය හැරී බෲක් ඇතුළු පිරිවර, පන්දු 22 ක් ඉතිරිව තිබියදී තරගය ජයගිනිමින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ.
අන්තර්ජාතික තරග 383 ක අත්දැකීම් ඇති ජෝ රූට්, සිය 188 වැනි එක්දින තරගයේදී අගනා සම්බන්ධතා දෙකකටම සම්මාදම් විය. බෙන් ඩකට් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. අනතුරුව හැරී බෲක්ට එක්වූ හිටපු නායකයා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 88 ක් සම්බන්ධිතයක් ගොඩනැංවූයේ සිය 45 වැනි එක්දින අර්ධ ශතකය ද සම්පූර්ණ කරමිනි.
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ පන්දු 90 කට මුහුණ දුන් ජෝ රූට් දැවීයන විට එංගලන්තය ජයග්‍රහණයට අත පොවන මානයේ පසුවිය. එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය වෙමින් පිතිහරඹයේ නිරත වූ 35 හැවිරිදි ප්‍රවීණයා, ලකුණු 12 කට කඩුලු දෙකක් ද දවාගනිමින් තරගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයත් දිනාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 219 කි. මෙම ලකුණු 219 ලබාගන්නා අතරේ දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම එංගලන්ත දඟ පන්දු යවන්නන් විසින් හිමිකර ගන්නා ලදි.
පළමු එක්දින තරගයේදී පාඩම මැනවින් ඉගෙන ගත් එංගලන්තය, සිය ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි බංකුවේ තබා විශේෂඥ දඟ පන්දු යවන්නන් සිව් දෙනකු කණ්ඩායමට කැඳවා තිබිණ. සැක් ක්‍රෝලිගේ ස්ථානය දඟ පන්දු යවන්නකු වන රෙහාන් අහමඩ්ට පවරා තිබුණේ ඔහු විශ්වාසය තැබිය හැකි ඉදිරිපෙළ පිතිකරුවකු ලෙසින් හොඳ දස්කම් පෙන්වමින් සිටින බැවිනි.
රෙහාන් අහමඩ්, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ලීස්ටර්ෂයර් පිල වෙනුවෙන් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශතක 5 ක් ලබා සිටී. වසර 2022 දී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රෙහාන් අහමඩ්, එංගලන්ත දෙවැනි ඉනිමේදී ‘මුරකරු පිතිකරු’ ලෙසින් පිටියට ආවේ අංක 3 ස්ථානයෙනි. එදා ඔහු පිත්තෙන් වැඩි යමක් නොකළත්, ඉදිරියේදී එංගලන්තය වෙනුවෙන් ඉදිරියට එන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
විශේෂඥ දඟ පන්දු යවන්නන් සිව් දෙනකු කණ්ඩායමේ සිටියදීත්, අවස්ථාවෝචිත දඟ පන්දු යවන්නන් වන ජෝ රූට් සහ ජේකබ් බෙතීල් දෙදෙනාට ඕවර 6 යැවීමේ අවසරය දුන් එංගලන්ත නායක හැරී බෲක්, නියමිත ඕවර 50 න් 41 ක්ම දඟ පන්දු යවන්නන් යොදවා යවා ගත්තේය.
ජෝ රූට් සහ ජේකබ් බෙතීල් දෙදෙනා යොදාගැනීමෙන් එංගලන්ත නායකයා අදහස් කළේ ඉනිමේ අවසන් ඕවර 10 දී, ඉදිරිපෙළ පන්දු යවන්නන්ට ඕවර කිහිපයක් ඉතිරිකර ගැනීමයි. යම් හෙයකින් එක් අයකු හෝ දෙදෙනකු ප්‍රහාරයට ලක්වූයේ නම් පන්දු යැවීම සඳහා වෙනත් පන්දු යවන්නකුට ඕවර කිහිපයක් ඉතිරිකර ගැනීම හැරී බෲක්ගේ උපාය විය.
ශ්‍රී ලංකා පිතිකරුවෝත් තත්ත්වය වටහාගනිමින් පන්දුවට පහර දුන්හ.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.