Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය ආයෙත් අලි අමාරුවක
අළු බඳුන

එංගලන්තය ආයෙත් අලි අමාරුවක

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හත්වැනි  ඕවරය නිමාවීමටත් පෙරම කඩුලූ දෙකක් අහිමි කරගත් එංගලන්තය දෙවැනි ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේදීත් අලි අමාරුවක වැටී සිටී. ඇඩිලේඞ්  ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 9කට ලකුණු 473 ක් ලබාගනිමින් සිය ඉනිම අත්හිටවූ නමුත් එංගලන්ත කණ්ඩායමේ කඩුලූ දෙකක්ම ලකුණු 12 ක් ඇතුළත බිඳ වැටිණ.

දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා* රාති‍්‍රයේ කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 17 ක් ලබා සිටියේය.

 ඕස්ටේ‍්‍රලියානුවන් සිය ඉනිම අවසන් කළේ දෙවැනි දිනය අවසානය්දී විනාඩි 40 ක් පමණ එංගලන්තයට ඉතිරි කරමිනි. එම කාලයේදී ඉවක් බවක් නැතිව දෝලනය වන රෝස පැහැ පන්දුවට මුහුණ දීම අතිශය අසීරු අභියෝගයකි. එයින් උපරිම ඵල නෙළාගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් වන හසීබ් හමීඞ් (06) සහ රෝරි බර්න්ස් (04) දෙදෙනාම පිටියෙන් ඉවත් කළහ.

රෝරි බර්න්ස් මුහුණ දුන්නේ පන්දු 3 කට පමණි. මිචෙල් ස්ටාක්ගේ ඉහළ නැඟී පන්දුවකට පිත්ත දැමූ බර්න්ස් දෙවැනි ස්ලිප්හි සිටි ස්ටීවන් ස්මිත්ට පහසු උඩපන්දුවක් දුන්නේය. හසීබ් හමීඞ් දැවී ගියේ නායක පැට් කමින්ස් වෙනුවෙන් මෙම තරගයට එක්වූ මයිකල් නේසර්ගේ පළමු ටෙස්ට් කඩුල්ල වෙමිනි.

පිටියේ සිටින පිතිකරුවන් දෙදෙනා අතුරින් ජෝ රූට් අත එංගලන්ත බලාපොරොත්තු රැඳී තිබේ.

බි‍්‍රස්බේන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ 9 ක දරුණු පරාජයකට මුහුණ දුන් එංගලන්තය ඇඩිලේඞ්හිදීත් නොසිතූ අමාරුවක වැටී සිටී. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් මිදීමට නම් එංගලන්ත පිල තවත් ලකුණු 256 ක් ලබාගත යුතුවන නමුත් ඔවුන් අත ඇත්තේ කඩුලූ 8 ක් පමණි.

පළමු දිනයේ නොදැවී සිටි පිතිකරු මානස් ලැබුෂේන් ලබාගත් ශතකයත්, තාවකාළික නායක ස්ටීවන් ස්මිත්ගේ අගනා ලකුණු 93 ත් නිසා  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙම තරගයේදී සවිමත් තට්ටුවකට නැග සිටිති. ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන්ගෙන් ඊට ලැබුණේත් කදිම දායකත්වයකි. කඩුලූ රකින්නා වන ඇලෙක්ස් කේරි (51) සහ පන්දු යවන්නන් වන මිචෙල් ස්ටාක් (නොදැවී 39) මෙන්ම කෝඩුකාරයා, මයිකල් නේසර් (35) තිදෙනා එක්ව තම පිලට ලකුණු 125 ක් එකතු කළහ.

බෙන් ස්ටෝක්ස් (113/3) සහ ජේම්ස් ඇන්ඩසන් (58/2) දෙදෙනා හැරෙන්නට එංගලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක් කළ අයකු නොවීය.

මානස් ලැබුෂේන් ලබාගත්තේ ඔහුගේ 6 වැනි ටෙස්ට් ශතකයයි. ඒ වෙනුවෙන් පැය 11 කට ආසන්න කාලයක් තිස්සේ පන්දු 305 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. එහෙත් ඔලී රොබින්සන් කැඳවීමත් සමගම තරමක් අමාරුවේ වැටුණු ලැබුෂේන්ට අද දිනයේදී සිය ඉනිමට එකතු කළ හැකිවූයේ ලකුණු 8 ක් පමණි.

ලැබුෂේන්ගේ දැවීයාමෙන් පසුව පැමිණි ට‍්‍රැවිස් හෙඞ් (18) සහ කැමරන් ගී‍්‍රන් (02) දෙදෙනාම ලකුණු 3 ක් ඇතුළත දැවී ගියද එංගලන්ත පන්දු යවන්නන්ට අදහාගත නොහැකි පහර කිහිපයකින් සංග‍්‍රහ කළ කඩුලූ රකින්නා වූ ඇලෙක්ස් කේරී නැවත වරක් ස්මිත්ට අගනා සහායකයෙක් විය.

අවසන් වරට පැවැති අළු බඳුන තරගාවලියේදීත් එංගලන්තය විනාශ කළ ස්ටීවන් ස්මිත් නැවත වතාවක් එංගලන්තයට හිසරදයක් වී තිබේ. පැය පහමාරක් පමණ පිටියේ සිටි හිටපු නායකයා සිය ශතකය පෙනි පෙනීම දැවී ගියේ පමණට වඩා මුරණ්ඩු වීමට යාමෙනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ.

සේල්සියස් අංශක 37 ක පමණ උෂ්ණත්වයක් පැවැති ඇඩිලේඞ් පිටියේදී එංගලන්ත පන්දු යවන්නෝ දැඩි අසීරුතාවකට පත්ව සිටියහ.

 ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ට 473 යි
(ඬේවිඞ් වෝනර් 95, මානස් ලැබුෂේන් 103, ස්ටීවන් ස්මිත් 93, ට‍්‍රැවිස් හෙඞ් 18, ඇලෙක්ස් කේරි 51, මිචෙල් ස්ටාක් නොදැවී 39, මයිකල් නේසර් 35, ජේම්ස් ඇන්ඩසන් 58/2, බෙන් ස්ටෝක්ස් 113/3)

එංගලන්තය - පළමු ඉනිම කඩුලූ 2 ක් දැවී 17 යි
(ඩේවිඩ් මලාන් නොදැවී 01, ජෝ රූට් නොදැවී 05)

- 213

 


අදහස් (0)

එංගලන්තය ආයෙත් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.