
ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පැහැදිලි අනතුරු ඇඟවීමක් තිබියදීත්, ඉරානයේ ලෝක කුසලාන තරඟ එක්සත් ජනපදයෙන් පිටතට ගෙනයාම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
අඟහරුවාදා (31 වැනිදා) තුර්කියේ කළ සංචාරයකදී අදහස් දක්වමින් ඉන්ෆැන්ටිනෝ මහතා පැහැදිලි කර සිටියේ බටහිර ආසියාවේ පවතින ගැටුම මධ්‍යයේ ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර එදිරිවාදිකම් දිගටම ඉහළ ගියත්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාලසටහන වෙනස් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
“කොහෙත්ම නැහැ”
“තරග පවත්වන්න සැලසුම් කරපු තැන්වලම ඒ තරග තියන්න ඕනා” යයි ඉරාන පාපන්දු ක්‍රීඩකයන් මේ දිනවල පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටින තුර්කියේ ඇන්ටාලියා නුවරදී ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය සඳහා පසුගිය වසරේදී සුදුසුකම් ලබාගත් ඉරානය, ලෝක කුසලාන තරගාවලියේදී ‘ජී’ කාණ්ඩයෙන් තරග වදී. ඔවුන්ගේ සියලුම මූලික වටයේ තරඟ ඇමරිකානු භූමියේ ක්‍රීඩා කිරීමට නියමිතය. බෙල්ජියම, ඊජිප්තුව සහ නවසීලන්තයට එරෙහිව ඉරානය ක්‍රීඩා කිරීමට නියමිත අතර මෙම තරග ලොස් ඇන්ජලීස් සහ සියැටල් හි පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරානයේ සහභාගීත්වය ඉතාමත් අවිනිශ්චිත මට්ටමක තිබේ. දැනට පවතින යුද ගැටුම් මධ්‍යයේ වුවත් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඉරානය බලාපොරොත්තුවෙන් සිටින අතර තමන්ගේ ලෝක කුසලාන තරග මෙක්සිකෝවට මාරු කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා තිබේ.
මේ අතර තමන්ට සතුරු යැයි සලකන රටවලට යාම ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය තම රටේ ජාතික සහ ක්‍රීඩා සමාජ කණ්ඩායම් වලට තහනම් කර තිබේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර වත්මන් ගැටුම සැලකිල්ලට ගැනීමේදී එක්සත් ජනපදය ද ඉරානයේ සතුරන් ලයිස්තුවට ඇතුළත් රටකි.
මෙම අර්බූදයේ නිර්මාතෘ අනෙකකු නොව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මය.
ලෝක කුසලානය තරගාවලියට සහභාගී වීමට ඉරානයට අවසර දෙනු ලබන නමුත් එය ඔවුන්ට නුසුදුසු ස්ථානයක් විය හැකි බව ට්‍රම්ප් මහත පැවසීය.
“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේම ජීවිතය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නෑ” යයි ඇමරිකාානු ජනාධිපතිවරයා පැවසීය.
ක්‍රීඩකයින්ට කිසිදු තර්ජනයක් එක්සත් ජනපදයෙන් නොපැමිණෙන බව ඔහු පසුව පැහැදිලි කළ නමුත්, එම ප්‍රකාශයෙන් ඉරානයේ තරග ඇමරිකාව තුළ පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතතාවක් ද ට්‍රම්ප් ඉඟි කළේය.
තත්ත්වය එසේ තිබියදීත්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ඉන්ෆැන්ටිනෝ මහතා දැඩි ස්වරයකින් කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි.
“අපි නිවැරදි ස්ථාවරයක ඉන්නවා. ඔවුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් නිසා අපි සතුටු වෙනවා,”
යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් (FIFA) සභාපතිවරයා පැවසුවේ අන්තර්ජාතික සුහද පාපන්දු තරගයකදී ඉරානය විසින් ගෝල 5-0 ක් ලෙසින් කොස්ටාරිකාව පරාජය කරන ආකාරය බලා සිටීමෙන් පසුවය.
“මෙතැන් සිට ලෝක කුසලාන තරගාවලිය දක්වාම, ඉරාන ජාතික කණ්ඩායමට සහාය වීමට මට හැකි සෑම දෙයක්ම මම කරනවා,” යයි ද ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 11 වැනිදා සිට ජූලි මස 19 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී පැවැත්වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 48 කි. එකකට කණ්ඩායම් 4 ක් බැගින් වන කාණ්ඩ 12 කින් තරගාවලිය පැවැත්වෙයි.
- සැකසුම (දමින්ද විජේසූරිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.