Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව ආවොත් අපිත් ඉන්දියාවට එනවා
2023 ලෝක කුසලාන තරග

ඉන්දියාව ආවොත් අපිත් ඉන්දියාවට එනවා

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කලීජ් ටයිම්ස් අනුග්‍රහයෙනි - සැකසුම : දමින්ද විජේසූරිය)

පාකිස්තානයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන්නේ නම්, ලබන වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානය සහභාගි නොවන බව පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී රමිස් රාජා මහතා පවසයි. එහෙත් පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව ඉන්දීය රජයේ ක්‍රීඩා අමාත්‍ය අනුරාග් ඨාකූර් පැවසුවේ සියලුම කණ්ඩායම් සහභාගි වන ලෝක කුසලාන තරඟාවලියට සත්කාරකත්වය සපයන බවයි.

ක්‍රීඩා ඇමති අනුරාග් ඨාකූර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.
පසුගිය ඔක්තෝම්බර් මස මුලදී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා කියා සිටියේ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට යන බවට ඇති අනුමානකිරීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට 2023 ආසියානු කුසලාන තරගාවලිය, පාකිස්තානයේ නොවන, මධ්‍යස්ථ රටක පැවැත්වෙන බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා කියා සිටියේය.

වි-20 ලෝක කුසලාන තරගාවලියේදී සහ ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානය ලබාගත් ජයග්‍රහණ සඳහන් කරමින් රමීස් රාජා කියා සිටියේ ඉන්දියාවේ දඩබ්බර කතා සම්බන්ධයෙන් ආක්‍රමණශීලී ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.

“ඔවුන් (ඉන්දියානු කණ්ඩායම) පාකිස්තානයට ආවොත්, අපිත් ලෝක කුසලාන තරගාවලියට යනවා.  ඔවුන් එන්නේ නැත්නම්, ඔවුන්ට එය කිරීමට ඉඩ දෙන්න. ඒ වගේම පාකිස්තානය නොමැතිව ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමටත් ඔවුන්ට ඉඩ දෙන්න.”

“ලබන අවුරුද්දේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට පාකිස්තානය සහභාගී නොවන්නේ නම් කවුද ඒක බලන්නේ... අපගේ ස්ථාවරය ස්ථිරයි. ඒක වැනෙන එකක් නොවේ. අපි මේ වෙලාවේ ආක්‍රමණශීලී ප්‍රවේශයක් අනුගමනය කරනවා”

“අපේ කණ්ඩායම දක්ෂතා පෙන්වනවා. අපි, ලෝකයේ විශාලතම ලාභ ලබන, ව්‍යාපාරික ක්‍රිකට් කණ්ඩායම පරාජය කළා. අපි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටත් ක්‍රීඩා කළා” යයි රමීස් රාජා පාකිස්තානු මාධ්‍ය වෙත පවසා තිබේ.

ලබන වසරේදී පැවත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම පිළිබඳ ෂාගේ ප්‍රකාශයෙන් පසුව, පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය.  

“එවැනි ප්‍රකාශවල සමස්ත බලපෑම මගින්, ආසියානු සහ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාව දෙකඩ කිරීමට හැකියාව තියෙනවා. 2023 එක්දින අන්තර්ජාතික ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට විතරක් නෙමේ, 2024-2031 කාල චක්‍රයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අනෙකුත් තරගාවලි සඳහාත් බලපෑම් ඇති කරන්නත් පුළුවන්” යයි පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් කියැවිණ.
 
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ නිවේදනයෙන් පසුව ඉන්දීය ක්‍රීඩා අමාත්‍ය අනුරාග් ඨාකූර් කීවේ සියලුම කණ්ඩායම් වලට සහභාගිවිය හැකිවන පරිදි 2023 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි.

“ඒක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔවුන් ඒ ප්‍රශ්නය බුද්ධිමත්ව හසුරුවාවි”

“මීට පෙරත්, ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීමේදී අපි වරදක් කරලා නෑ. අපි මීට පෙරත් ලෝක කුසලාන තරගාවලි සාර්ථකව සංවිධානය කරලා තියෙනවා. ඒ තරගාවලි වලට සියලුම කණ්ඩායම් සතුටින් සහභාගී වෙලාත් තියෙනවා. නිසැක වශයෙන්ම ලබන වසරේ පැවැත්වෙන තරගාවලියට සියලුම කණ්ඩායම් ක්‍රීඩා කරාවි” යයි අනුරාග් ඨාකූර් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැවසීය.

මේ අතර 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා පකිස්ථානයේ සංචාරය කිරීම, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නයක් නොවන බවත්, ඔවුන් රජයේ තීරණය මත විශ්වාසය තබන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රොජර් බිනී කියයි.

“ඒක අපට තීරණයක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ කණ්ඩායම කොහෙද යන්න ඕන කියලා අපට කියන්න බෑ. අපි පිටරටකට ගියත්, නැත්නම් වෙන රටවල් මෙහෙට ආවත්, ඒ සඳහා ආණ්ඩුවෙන් අවසර ගන්න ඕන”

“ඒ තීරණය අපිට තනියම ගන්න බැහැ, අපට රජය මත විශ්වාසය තියන්න වෙනවා” යයි රොජර් බිනී පවසා තිබුණි.

ලබන වසරේදී (2023) එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

2023 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අතර 2025 දී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීත්සෂත්කාරකත්වය හිමිවී ඇත්තේ පාකිස්තානයටයි.


අදහස් (0)

ඉන්දියාව ආවොත් අපිත් ඉන්දියාවට එනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.