Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාවේ ඇස් අරිති
එක්දින තරගාවලිය

ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාවේ ඇස් අරිති

editorial - 2023 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව වැටී ඇති අගාධය කෙතරම් ගැඹුරුද යන්න මොනවට පෙන්වාදුන් ඇෆ්ඝනිස්ථානු ක්‍රීඩකයෝ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ.

චරිත් අසලංක (91) සහ ධනංජය ද සිල්වා (51) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 99 ක සම්බන්ධතාව මත සිටගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 268 කට දැවී ගියේය. එහෙත් ඇෆ්ඝනිස්තානුවන්ට සටනක් දීමට එය කිසි සේත්ම ප්‍රමාණවත් නොවූයේ ඔවුන් පන්දු 19 ක් ඉතිරි තිබියදීම ජයටැඹ පසුකර ගිය බැවිනි.

සංචාරකයන් වෙනුවෙන් මනරම් පිතිහරඹයක නිරත වූ ඊබ්‍රහිම් සද්රාන් පන්දු 98 කින් ලකුණු 98 ක් ලබා ඇෆ්ඝනිස්තානු ජයග්‍රහණයේ පදනම දමා දුන්නේය.

මතීෂ පතිරණගේ දෙවැනි ඕවරයේදීම ඔහුට හයේ පහර දෙකකින් සංග්‍රහ කළ සද්රාන්, හතරේ පහර 11 කින් සිය ඉනිම අලංකාර කළේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් රහමත් ෂා සමගින් එක්ව ලකුණු 146 ක විශිෂ්ට සම්බන්ධතාවක් ද ගොඩනඟමිනි.

එක්දින තරග 9 කදී ලකුණු 531 ක් ලබා සිටින ඊබ්‍රහිම් සද්රාන්ගේ එක්දින ඉනිමක සාමාන්‍යය 66.38 කි. එක්දින ශතක 3 ක හිමිකරුවා වන සද්රාන් අද දිනයේ තවත් ලකුණු දෙකක් ලබාගත්තා නම් එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් තුන්වැනි එක්දින ශතකය වන්නට තිබිණ.

තම සිව්වැනි එක්දින තරගයේදීම සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 121 ක් ලබාගත් සද්රාන්, එතැන් සිට එක්දින තරග වලදී ලකුණු ලබාගත් අකාරය සටහන් වන්නේ 8, 106, 10, 162 සහ 98 ක් ලෙසිනි. පසුගිය නොවැම්බරයේදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැළේදී ශතක දෙකක් (106 ක් සහ 162 ක්) ලබාගත් සද්රාන්, ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවාද වෙයි.

ඇෆ්ඝනිස්තානු ඉනිම ආරම්භයේ සිටම ආක්‍රමණය නොඅඩුවම තිබිණ. තරගයේ පළමු ඕවර 20 නිමාවේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 4 කට 84 ක් වුවද, ඇෆ්ඝනිස්තානුවෝ ඕවර 20 ක් නිමාවේදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 120 ක් ලබා සිටියහ. එතැන් සිට තිබුණේ පහසු ගමනකි.

සිය ශතකය පෙනි පෙනී සිටියදී සද්රාන් දැවී ගිය නමුත් රහමත් ෂා (55), හෂ්මතුල්ලා ශහිදි (38) සහ මොහොමඩ් නබී (නොදැවී 27) තම කණ්ඩායම අමාරුවේ වැටෙන්නට නොදුන්හ. ඉනිමේ අවසන් ඕවර 10 දී පන්දු 60 කින්, ඇෆ්ඝනිස්ථානුවන්ට අවශ්‍ය වූයේ ලකුණු 40 කි.

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම අතිශයින් දුර්වල වී තිබුණු අතර වාර්තා වූ අතිරේක ලකුණු සංඛ්‍යාව 30 කි. ඒ අතරට මතීෂ පතිරණගෙන් යැවුණු වයිඩ් පන්දු 8 ක් ඇතුළත් වී තිබූ අතර ඒවායින් දෙකක්ම, පා ඉන්නට බොහෝ ඈතින්, හතරේ සීමාවට ගිය බැවින් මතීෂගෙන් පමණක් නික්මුණු අතිරේක ලකුණු සංඛ්‍යාව 16 කි. සිය මංගල එක්දින තරගයේදී ඕවර 8.5 ක් යැවූ මතීෂ පතිරණ ලකුණු 66 කට කඩුල්ලක් දවාගත්තේය.

මුල් පෙළ පිතිහරඹය ස්ථාවර කිරීමේ අරමුණ ඇතිව, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න (4) සහ ඇන්ජලෝ මැතිව්ස් (12) නැවතත් එක්දින කණ්ඩායමට කැඳවා තිබිණ. එහෙත් ඔවුන් දෙදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.

කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් ඇෆ්ඝනිස්ථානුවෝ, තම තීරණයේ උපරිම ප්‍රතිඵල ලබාගනිමින්, පළමු ප්‍රහාරක ඕවර 10 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 44 කට සිරකර තැබුවා පමණක් නොව, ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය වීමේ වගකීම බාරදුන් දිමුත් කරුණාරත්න සහ ඕනෑම මොහොතකදී ආක්‍රමණශිලියයකු විය හැකි කුසල් මෙන්ඩිස්වත් පිටියෙන් ඉවත් කරගත්හ.

20 වැනි ඕවරය නිමාවීමටත් පෙර පැතුම් නිස්සංකත් දැවී ගියේ ලකුණු ලබාගැනීමේ වේගය 4.20 සීමාවේ රඳවමිනි. එහෙත් අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක එක්වීමෙන් පසුව ලකුණු වේගය වැඩිකරගත හැකිවිය. පන්දු 107 කදී ලකුණු 99 ක් එක්කළ වමත් - දකුණත් පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ ධනංජයගේ දුර්වල පහරකිනි. පන්දු 59 කින් ලකුණු 51 ක් ලබාගත් ධනංජයගේ ඉනිම හතරේ පහර 5 කින් අලංකාර වී තිබිණ.

ධනංජය දැවී ගියද, අසලංක සුපුරුදු ස්ථාවර පිතිහරඹය දිගටම කරගෙන ගියේය. නායක දසුන් ශානක පන්දු 16 කින් ලකුණු 17 ක් ලබාගනිද්දී, ලකුණු කරා යාමේ වගකීම නායකයාට පැවරූ අසලංක, පන්දු 18 කට මුහුණ දෙමින් ලබාගත්තේ ලකුණු 13 කි. ඉනිමේ තවත් ඕවර 8 ක් පමණ ඉතිරිව තිබූ බැවින් ද, පිතිකරුවන් අතර අන්තිමයා දසුන් ශානක වූ බැවින් ද අසලංකට සිය කඩුල්ල රැකගැනීමේ වගකීමක් තිබිණ.

දසුන්ගේ දැවී යාමෙන් පසුව පැමිණි කෝඩුකාරයා, දුෂාන් හේමන්ත, පන්දු 20 කින් ලකුණු 22 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 260 සීමාව ඉක්මවා යා හැකිවිය. අවසන් ඕවරයේදී අසලංක දුවද්දී දැවී යන විට වමත් පිතිකරුවා පන්දු 95 කින් ලබාගත් ලකුණු 91 ට හතරේ පහර 12 ක් ඇතුළත් වී තිබිණ.

දුෂාන් හේමන්තගේ දැවී යාමත්  සමගින් පන්දු 9 ක් ඇතුළත පිතිකරුවෝ සිව් දෙනෙක් දැවී ගියහ. අස්මතුල්ලා ඔමර්සායි යැවූ අවසන් ඕවරයේදී දුවද්දී දැවී යාම් දෙකකි.

මාස දෙකකට පසුව, කණ්ඩායමක් ලෙසින් අන්තර්ජාතික පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් වරට සහභාගි වූ එක්දින තරග 10 න් ජයගෙන ඇත්තේ පසුගිය වසරේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගය පමණි. එම තරග 10 න් තරග දෙකක් වර්ෂාවට නිසා විසඳුමකින් තොරව නිමා විය. ඉතිරි තරග 8 න් තරග 7 ක් පරාජය වී ඇති අතර ජයගත් එකම තරගය ඇෆ්ඝනිස්ථානයට එරෙහිවය.
 
අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ඇෆ්ඝනිස්ථානය 8 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේත් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වැටී තිබෙන අගාධය මෙයයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දෙවැනි එක්දින තරගය ලබන ඉරිදා (4 වැනිදා) හම්බන්තොටදීම පැවැත්වෙයි.

 

- 213


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාවේ ඇස් අරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.