Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමය සංවිධානය කරන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර එළබෙන සෙනසුරාදා (18 වැනිදා) සහ ඉරිදා (19 වැනිදා) යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී දිවා-රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වේ.
චීනයේදී පැවැති පළමු අදියර සඳහා මෙන්ම මෙම අදියර සඳහාද පිරිමි කණ්ඩායම් 12 ක් සහ කාන්තා කණ්ඩායම් 12 ක් සහභගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පළමු අදියරේ සිවුවැනියා ලෙසත්, කාන්තා කණ්ඩායම පළමු අදියරේ 9 වැනියා ලෙසත් මෙම තරගාවලියට සහභාගි වේ.
පිරිමි තරගාවලියේදී හොං කොං, මැලේසියාව, දකුණු කොරියාව සහ පිලිපීනය ‘ඒ’ කාණ්ඩය යටතේද, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීන තායිපේ සහ තායිලන්තය ‘බී’ කාණ්ඩය යටතේද, චීනය, උස්බැකිස්ථානය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
ජපානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව ‘ඩී’ කාණ්ඩය යටතේද, චීනය, කසකස්ථානය, මැලේසියාව, පිලිපීනය ‘ඊ’ කාණ්ඩය යටතේද, හොං කොං, තායිලන්තය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ‘එෆ්’ කාණ්ඩය යටතේද කාන්තා තරගාවලියට එක්ව සිටියි.
‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සෙනසුරාදා පස්වරු 12.40 ට උස්බැකිස්ථානයට එරෙහිව සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය. ඉන් අනතුරුව සිංගප්පූරුවට එරෙහිව පස්වරු 5.04 ටද, චීනයට එරෙහිව එරෙහිව පස්වරු 9.50 ටද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළිත් තරග බිමට අවතීර්ණ වනු ඇත.
‘එෆ්’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෙනසුරාදා පෙරවරු 10.28 ට සිය පළමු තරගයට සහභාගි වේ. ඉන් අනතුරුව හොං කොං රාජ්‍යයට එරෙහිව පස්වරු 3.14 ටද, සිංගප්පූරුවට එරෙහිව එරෙහිව පස්වරු 7.16 ටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යළිත් තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.
පිරිමි සහ කාන්තා තරගාවලි දෙකේම මූලික වටයන්හිදී එක් එක් කාණ්ඩවල පළමු ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් ඍජුවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ඊට අමතරව එම කාණ්ඩවල දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් තුනෙන් ඉහළම දස්කම් දක්වන කණ්ඩායමටද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදාවනු ඇත.
අවසන් පූර්ව තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් තරගාවලියේ ශූරතාව සඳහා තරග වදින අතර පරාජයට පත්වන කණ්ඩායම් තෙවැනි සහ සිවුවැනි ස්ථාන සඳහා තරග වදිනු ඇත. සෙසු කණ්ඩායම් 8 ට මූලික වටයේදී ඔවුන් දක්වන දස්කම් අනුව තරගාවලියේ 5 වැනි ස්ථානයත්, 12 වැනි ස්ථානයත් අතර ස්ථාන සඳහා තරග වැදීමට සිදුවනු ඇත.
තරගාවලියේ අවසන් පූර්ව තරග සහ ශ්‍රේණිගත ස්ථාන තේරීමේ තරග ඉරිදා පැවැත්වෙන අතර කාන්තා අවසන් මහ තරගය එදින පස්වරු 6.04 ටද, පිරිමි අවසන් මහ තරගය පස්වරු 6.26 ටද අරම්භ වීමට නියමිතය. ඉන් අනතුරුව තරගාවලියේ කුසලාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතර එහිදී ආසියානු ශූරයන් සහ ශූරියන් කිරුළු පළඳිනු ඇත.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියකදී ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්‍රහණය 2016 වසරේදී අනු ශූරතාව හිමිකර ගැනීමය. අවසන් වරට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වූයේ 2022 වසරේදීය. එහි පළමු අදියරට සහභාගි නොවූ ශ්‍රී ලංකාවට දෙවැනි අදියරේ සිවුවැනි ස්ථානයත්, තෙවැනි අදියරේ 7 වැනි ස්ථානයත් සමග සමස්ත තරගාවලියේ 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.