Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

editorial - 2025 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ 

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී අද (9) පැවැති ආසියානු කුසලාන (2027) නිර්දේශ වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව විසින් තුර්ක්මෙනිස්ථානය  ගෝල 1 - 0කින් පරාජය කරන ලදී. එය ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ මෙතෙක් තුර්ක්මෙනිස්ථානයට එරෙහිව වාර්තා කළ පළමු ජයග්‍රාහනය ලෙස තරග ඉතිහාසයට එක්වේ.

මෙම තරගය පවත්වන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව තුර්ක්මෙනිස්ථානය 138 වැනි තරම් ඉහළ ස්ථානයක පසු වෙද්දී ශ්‍රී ලංකාව එහි කල් ගෙවූයේ 197 තරම් පහළ ස්ථානයකය.එබැවින් මෙම ජයග්‍රහණය වඩාත්ම අගයක් ගනියි.

තරගයේ 66 වැනි විනාඩියේදී ඉදිරිපෙළ ආරක්ෂක ක්‍රීඩක ඩිලෝන් ද සිල්වා දැල ආසන්නයටම ගොස් රැස් කළ ගෝලය ශ්‍රී ලංකාවට මෙම තරග වටයේ අළුත් බලාපොරොත්තු ඇති කර දුන්නේය.23 හැවිරිදි එංගලන්තයේ ලීග් පාපන්දු ක්‍රීඩා කරන ද්විත්ව පුරවැසිලාභී ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිලෝන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් පසුව මේ දක්වා ජාත්‍යන්තර තරග 21 කට සහභාගි වෙමින් ගෝල හතරක් රැස් කර තිබේ.

අද වාර්තාගත ජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි තරග වටයේ ඩී කාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ ලකුණු හයක් රැස් කරමිනි.තුර්ක්මෙනිස්ථානයේ ලකුණු ගණනද එහි හයක් වන අතර ඔවුන් එහි දෙවැනි තැනට ඇද වැටුණේ අද පරාජයත් සමගය.

අද තරගය ආරම්භයේ පටන් ප්‍රබල තුර්ක්මෙනිස්ථාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා නරඹන්නන්ගේ ඉහළම අව්ධානයක් දිනා ගත්තේය.

යළිත් වරක් මෙම තරග වටයේදීම  දෙරට මුණ ගැසෙන තුර්ක්මෙනිස්ථානය සත්කාරය දරන අදියර - 2 තරගය ලබන අගහරුවාදා (14) අර්කාඩැග් නුවරදී පැවැත්වීමට නියමිතය.කෙසේවූවත් ශ්‍රී ලංකාවට නිර්දේශ තරග වටයේ ඩී කාන්ඩයේ ශූරයා වෙමින් ආසියානු කුසලාන (2027) අවසන් වටයේ 24 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව කෙරෙහි යම් අපේක්ෂාවක් අද ජයත් සමග ගොඩ නගා ගැනීමට සමත් විය.

වසර 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය (අවසන් වටය) නිර්දේශ ලබන කණ්ඩායම් 24 කගේ සහභාගිත්වයෙන් එම වසරේ ජනවාරී 7 සිට පෙබරවාරි 5 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් - ජෙඩා හා කොහොබාර් යන නගර වලදී පැවැත්වේ.දැනට පැවැත්වෙන නිර්දේශ තරග වටයේ කාන්ඩ ශූරයන් හය දෙනා අවසන් වශයෙන් ඊට නිර්දේශ ලබයි.

මීට පෙර වසර 2019 දී අවසන් වතාවට දෙරට මුණ ගැසීමේදී තරග දෙකකින් ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට පරාජයවී තිබේ.2022 කටාර් ලෝක කුසලාන නිර්දේශ වටයේ තරග දෙකකින් ශ්‍රී ලංකාව අවසන් වතාවට ඔවුන්ට පරාජයවී තිබේ.මෙතෙක් දෙරට මුහුණ දුන් ජාත්‍යන්තර තරග හතකදී තුර්ක්මෙනිස්ථානය තරග පහක් ජය ගෙන තිබේ.සෙසු තරගය සමවී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.