Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අර්ජුන කිපී ඇමතිටත් ලොක්කන්ටත් බැණවදී

අර්ජුන කිපී ඇමතිටත් ලොක්කන්ටත් බැණවදී

editorial - 2021 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් සමග එක්දින තරගාවලියකට සහභාගිවීමට එකඟ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ට දෝෂාරෝපණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාටත් දෝෂාරෝපණය කරන හිටපු නායකයා කියන්නේ තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අවමානයක් බවයි. 

ඉන්දීය කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයන් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා, රිෂාබ් පන්ට්, ජස්ප්‍රීට් බුම්රා සහ අජින්ක්‍යා රහනේ වැනි ක්‍රීඩකයෝ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමත් සමග මේ දිනවල එංගලන්තයේ සිටිති. එබැවින් ශිකාර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් පසුගිය සඳුදා (28 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීමේ අරමුණ ඇතිවය. 

“ශ්‍රී ලංකාවට ආපු ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේ හොඳම කණ්ඩායම නෙමේ. ඒක දෙවැනි පෙළ කණ්ඩායමක්.... අපේ ක්‍රීඩා ඇමතිවරයා හෝ ක්‍රිකට් නිලධාරීන් මේ බව දන්නේ නැද්ද ?”

“අපි ශ්‍රේණිගතකිරීම් අනුව පහත වැටිලා වෙන්න පුළුවන්. ඒත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ජාතියක් හැටියට අපට අනන්‍යතාවක් තියෙනවා... අපට අභිමානයක් තියෙනවා. අපේ හොඳම කණ්ඩායම ඉන්දියාවේ දෙවැනි පෙළ කණ්ඩායමක් එක්ක තරගයට යවන්න බෑ” යයි අර්ජුන රණතුංග මහතා පැවසීය. 

සාමාන්‍ය වශයෙන් කණ්ඩායමක් අන්තර්ජාතික තරගාවලියකට සහභාගි වන විට තවත් අන්තර්ජාතික තරගාවලියක් සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් වෙනත් රටකට නොයවන්නේ දෙවැනි තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමි සමාගම ඊට අකමැති වන බැවිනි. රූපවාහිනී විකාශන අයිතිය හිමි සමාගම් නිතරම සොයන්නේ දෙපිලේම හොඳම ක්‍රීඩකයන් වන අතර එමගින් තරගාවලියක උද්වේගකර බව වැඩිකරගැනීම රූපවාහිනී සමාගම් වල අපේක්‍ෂාවයි.

කෙසේ වෙතත් මේ වන විට ගිවිසුම් අත්සන් කිරීමේ වේදකාවට පිවිස සිටින්නේ රූපවාහිනී විකාශන සමාගම් නොව, රූපවාහිනී නිශ්පාදන සමාගම්ය. එබැවින් දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කරවීම යනු රූපවාහිනී නිශ්පාදන සමාගම් වලට අඩු ලංසුවක් ඉදිරිපත් කිරීමේ හොඳම අවස්ථාවක්ද උදා කරන්නකි. 

1996 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නායකයා වන අර්ජුන රණතුංග මහතා වසර ගණනාවක් තිස්සේ කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය දුර්වල වී ඇති බවයි. මීට ඉහතදී දෙවතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට තරග කළ අර්ජුන රණතුංග මහතා ඡන්දයේදී පරාජය වූ අතර වසර 2008 දී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති තනතුරටද පත්විය. එහෙත් පසුව ක්‍රීඩා ඇමතිවරයා විසින් රණතුංග මහතා තනතුරෙන් ඉවත් කරන ලදි. 

රණතුංග මහතාගේ තවත් තර්කයක් වන්නේ ක්‍රීඩකයන් මුහුණ දෙන අපහසුතාව මෙන්ම මානසික පීඩනය සම්බන්ධයෙන් තැකීමක් නොකරන ක්‍රිකට් බලධාරීන්ගේ එකම අරමුණ වී ඇත්තේ මූල්‍යමය වාසිය බවයි. 

“ඉන්දීයාවේ දෙවැනි පෙළ කණ්ඩායමක් එක්ක තරග කරන්න මේ ඇතිකරගෙන තියෙන එකඟතාවේ රහස තමයි රූපවාහිනී අයිතිවාසිකම්” යයි රණතුංග මහතා පැවසීය. 

“ඉන්දියාවේ දෙවැනි පෙළ (බී) කණ්ඩායමක් හමුවට හරි අපේ ක්‍රීඩකයන්ව යවලා, මේ තරගාවලියෙන් සල්ලි හම්බකරගන්න අපේ ක්‍රිකට් මණ්ඩලයට ඕනෑවෙලා තියෙනවා” යයි වැඩිදුරටත් පැවසූ රණතුංග මහතා... ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විනයක් නැති හැසිරීම් වලටත් හේතුව දුර්වල පරිපාලනය බවත් පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාම පසුගියදා ජාතික කණ්ඩායමෙන් පිටුහල් කර ආපසු ශ්‍රී ලංකාවට එවූහ. ඊට හේතුව වූයේ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් අවේලාවේ බැහැර යාමත්, ඩර්හැම් නගර මධ්‍යයේ සැරිසැරීමත්ය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ (2020) ජූනි මස 21 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වාය. එහෙත් කොවිඩ්-19 ව්‍යප්තිය හේතුවෙන් එම තරගාවලිය අතහැර දමන්නට සිදුවිය. පසුව ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි කාල පරිච්ඡේදය වූ මේ වසරේ ජූලි මාසයේදී මෙම තරගාවලිය සඳහා සහභාග වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කළේය. 

කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින ආරක්‍ෂක විධිවිධාන හේතුවෙන් එංගලන්තයේ සිටින ඉන්දීය කණ්ඩායමට, ටෙස්ට් තරගාවලියෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට තරම් කාලයක් ඉතිරි නොවන හෙයින් සීමිත ඕවර තරග සඳහාම යොදාගන්නා ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවනු ලැබිණ. 

“ඉන්දියාව ඒගොල්ලන්ගේ හොඳම කණ්ඩායම එංගලන්තෙට යවලා. දුර්වල කණ්ඩයමක් ලංකාවට එවලා. ඒ ගැන මම දොස් කියන්නේ අපේ ක්‍රිකට් ආයතනයටයි” යයි අර්ජුන පැවසීය. 


අදහස් (0)

අර්ජුන කිපී ඇමතිටත් ලොක්කන්ටත් බැණවදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.