Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ඉතිහාසයේ විශාලතම පරාජය
වෝන් - මුරලිදරන් කුසලාන

ශ්‍රී ලංකාවට ඉතිහාසයේ විශාලතම පරාජය

editorial - 2025 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති  වෝන් - මුරලිදරන් කුසලාන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවෝ ඉනිමක සහ ලකුණු 242 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ.

ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු 654 ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 165 ක් සහ 247 කි. 

තරගයේ සිව්වැනි දිනය වූ අද (01 වැනිදා) පස්වරු 2.55 ට තේ පානය සඳහා ක්‍රීඩාව නතර කිරීමට නියමිතව තිබූ නමුත් අවසන් කඩුල්ල දවාගැනීමට අවස්ථාව දෙමින් තරගය දීර්ඝ කරන ලදි. ජෙෆ්රි වන්ඩසේගේ උඩපන්දුව පස්වරු 3.12 ට මිචෙල් ස්ටාක් විසින් රැකගනු ලැබීමත් සමගින් තරගය අවසන් විය. 

ඕස්ට්‍රේලියානුවන්ගේ වසර 148 ක ටෙස්ට් ඉතිහාසයේ සිව්වැනි විශාලතම ජයග්‍රහණය මෙයයි. ශ්්‍රී ලංකාවේ වසර 43 ක ටෙස්ට් ඉතිහාසයේ ලද විශාලතම පරාජයත් මෙයයි. 

තරග දෙකකින් සමන්විත වෝන් - මුරලිදරන් කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවෝ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිති. 

දිවා ආහාරයත් තේ පානයත් අතර කඩුලු 5 ක් බිඳ වැටිණ. ලකුණු 60 ඉක්මවූ සම්බන්ධතා දෙකක් වාර්තා වූ නමුත් එම සම්බන්ධතාවන්ට සම්බන්ධ වූවෝ කෙටි කාලයක් ඇතුළත දැවී ගියහ. පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 72 සහ දෙවැනි ඉනිමේදී ජෙෆ්රි වැන්ඩසේ ලබාගත් ලකුණු 53 හැරෙන්නට වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකුට අඩුතරමේ අර්ධ ශතකයක් හෝ ලබාගත නොහැකි විය. 

නේතන් ලයන් (135/7) සහ මැතිව් කුනේමන් (149/9) එක්ව ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාව විනාශ කළහ. බිග් බෑෂ් තරගාවලියේදී තුවාල ලබා සිටි වමත් දඟ පන්දු යවන්නා වන මැතිව් කුනේමන් ශ්‍රී ලංකා සංචාරය සඳහා අනුමැතිය ලබාගත්තේ අවසන් මොහොතේදීය. එහෙත් සංචාරයේ පළමු තරගයේදීම ඔහු තමන්ගේ තරම කියා දුන්නේය. නේතන් ලයන් සිය ටෙස්ට් කඩුලු මල්ල 546 ක් දක්වා බර කරගත්තේය.

දෙවැනි ඉනිම ආරම්භයේ සිටම කමිඳු මෙන්ඩිස් ඉතාමත් හොඳින් පන්දුව පහර දුන් නමුත් පමණට වඩා නිර්භීත වීමට යාමෙන් හතරේ සීමාව ආසන්නයේ සිටි මිචෙල් ස්ටාක්ට සිය කඩුල්ල පූජා කළේය. 

දිවා ආහාරයට පෙර යැවුණු අවසන් ඕවරයේදී දිනේෂ් චන්දිමාල් දැවී ගිය අතර ඕස්ට්‍රේලියානු නායකයා එම කඩුල්ල දවාගත්තේ විතීවි ක්‍රමවේදය භාවිතා කරමිනි. නේතන් ලයන්ගේ පන්දුවක් චන්දිමාල්ගේ පා ආවරණයේ වැදී ඉහළ ගිය අවස්ථාවේදී ට්‍රැවිස් හෙඩ් විසින් රැකගන්නා ලද නමුත් විනිසුරු ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් එය දැවී යාමක් ලෙසින් සංඥා කිරීමට මැළිවිය. ස්ටීව් ස්මිත් විතීවි සහාය ඉල්ලා සිටියෙන්, රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් තහවුරු වූයේ පන්දුව පා ආවරණයේ වැදීමට පෙර, චන්දිමාල්ගේ අත් ආවරණවල ගෑවී යන බවයි. 

දෙවැනි ඉනිම ආරම්භවී විනාඩි 20 ක් ඇතුළත ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම දැවී ගියහ. මිචෙල් ස්ටාක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ඕෂධ ප්‍රනාන්දු දැවී ගිය අතර ටොඩ් මර්ෆිගේ පන්දුවක් නිදැල්ලේ යාමට දුන් දිමුත් කරුණාරත්න එය කඩුල්ල තුළට කැඳවා ගත්තේය. 

අද පෙරවරුවේ තරගය ආරම්භ වී විනාඩි 45 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත් ඕස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම ලකුණු 165 කට සීමා කළහ. මුලු ලකුණු සංඛ්‍යාව 156 ක් ව තිබියදී කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 09 ක් ඇතුළත ඇද වැටිණ. එහි ප්‍රතිඵලය වූයේ ලකුණු 489 ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා පිතකරුවන්ට දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවීමයි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 6 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඉතිහාසයේ විශාලතම පරාජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.