Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගංගා එළියට : කයිල් - විරේන් තරග බිමට
පැරිස් ඔලිම්පික්

ගංගා එළියට : කයිල් - විරේන් තරග බිමට

editorial - 2024 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට..)

සිය ඉසව්වේ මෙතෙක් හොඳම දක්ෂතාවය දක්වමින් මීටර් 100 (පසුපස ආර - කාන්තා) ඉසව්වේ මූලික තරගය විනාඩි 1 තත්පර 04.26 කට නිමා කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්නට අද (29) පැරිස් නුවරදී හැකි වුණත් එය එහිදී පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ ඉදිරියට යාමට ඇයට කිසිසේත් ප්‍රමාණවත් නොවූවාය. 

මෙම ඉසව්වේ මූලික වටයට සහභාගිවී සිටි ක්‍රීඩිකාවන් 36 දෙනා අතරින් ගංගාට හිමිවූයේ 30 වැනි ස්ථානයයි.ඉසව්වේ අවසන් පූර්ව වටය සදහා එයින් අනුපිළිවෙළින් හොදම නිමි කාලයන් වාර්තා කළ 16 දෙනා නිර්දේශ කර ගැනේ. 

ඉසව්වේ පළමු මූලික තරගයට සභභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න එහිදී ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අතරින් විනාඩි 1 තත්පර 04.26 කට පළමු ස්ථානයට තරගය අවසන් කළාය. කෙසේවූවත් ඇය තරග වැදුණු මූලික තරගයේ ක්‍රීඩිකාවෝ සිව් දෙනාම අවසන් පූර්ව වටයට පිවිසීමට අපෝසත් වූහ. 

මීට පෙර ඇගේ අවසන් ජාත්‍යන්තර තරග සහභාගිත්වය වූ 2024 ඩෝහා - කටාර් ලෝක ශූර්තා තරගාවලියේදී ගංගා සිය ඉසව්ව විනාඩි 1 තත්පර 04.93 කට නිමා කර තිබේ. ඒ ඉසව්වේ සමස්ත ප්‍රතිපලයට අනුව 38 වැනි ස්ථානය ලබමිණි.

පැරිස් නුවරදී තරග නිමාවෙන් පසුව ගංගා ලංකාදීපයට පැවැසුවේ ඉසව්වේ මෙතෙක් සිය හොදම කාලය වාර්තා කිරීමට සමත්වීම ගැන සතුටු වන බවයි. ”මම තරග වැදුණේ  ඉසව්වේ ලෝක ශූරියන් සමගයි. ඔලිම්පික් උළෙලක නියෝජනය ලැබීමත් මට සතුටක්.” ගංගා වැඩිදුරටත් පැවැසුවාය. 

21 හැවිරිදි ගංගා පැරිස් ඔලිම්පික් සහභාගිත්වය අවසන් කිරීමෙන් පසුව දීර්ඝකාලීන නේවාසික පුහුණුවීම් හා අධ්‍යාපන කටයුතු හැදෑරීම සදහා හංගේරියාව බලා පිටත්ව යාමට සූදානමින්  සිටින බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි. හංගේරියාවේ එම පුහුණු පාඨමාලාව ලෝක ජල ක්‍රීඩා සංගමය මගින් ඇයට පිරිණමා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් හෙට (30) මීටර් 100 (පිරිමි - නිදහස් ආර) ඉසව්වට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 ඉසව්වේ මූලික වටයට කයිල් සහභාගි වේ.

පැරිස් ඔලිම්පික් සදහා මෙරටින් සහභාගිවූ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට එම අවස්ථාව හිමි වූයේ සුදුසුකම්  නොළත් පංගු ක්‍රමය යටතේය. 

ගංගා තරග වැදුණු මීටර් 100 (පසුපස ආර - කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව වටයට තේරුණු  ක්‍රීඩිකාවන් 16 දෙනා අතරින් ඒ වන විට හොඳම නිමි කාලය තත්පර 57.99 කට වාර්තා කර තිබුණේ  ලෝක ශූරතා ලෝකඩ පදක්කම්ලාභීණියක් වන ඇමෙරිකානු ක්‍රීඩිකා 23 හැවිරිදි කැතරිනා බෙයාකොෆ් විසිනි. 

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අද  සිය කේවල -පිරිමි  මූලික  දෙවැනි තරගයට සහභාගි වේ.කේවල - පිරිමි ඉසව්වේ  ඔහුගේ අද ප්‍රතිවාදීයා බවට පත්ව සිටින්නේ සිය පස්  වැනි ඔලිම්පික්  උළෙලට නිර්දේශ ලබා සිටින ජාත්‍යන්තර  තරග බිමේ නම් දැරූ ස්පාඤ්ඤ  ක්‍රීඩක 39 හැවිරිදි  පැබ්ලෝ ඒබියන්ය. 

විරේන් පැවැති මූලික පළමු තරගයේදී ලෝකයේ අංක හතේ දැනට ඉසව්වේ පසු වන මැලේසියානු  ක්‍රීඩක සී ජියා ලීයාට වට 2-0 කින් පරාජයට පත් විය. හෙට ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12 ට (ප්‍රංශ වේලාවෙන් පෙරවරු 8.30) ආරම්භ වේ.

අද වන විට පදක්කම් දිනා ගත් රටවල් අතර ඉන්දියාවද පසුවිය. ඒ ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙණි.ඒ වන විට චීනය රන් පදක්කම් 7 ක් දිනා පදක්කම්  සටහනේ පෙරමුණ ගෙන සිටියේය. 

 


අදහස් (0)

ගංගා එළියට : කයිල් - විරේන් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.