Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසකස්තාන් යන්න 6 දෙනකුගේ කණ්ඩායමක්

කසකස්තාන් යන්න 6 දෙනකුගේ කණ්ඩායමක්

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම්  ලබාගැනීමට දරන අවසන් උත්සාහය ලෙස කසකස්තානයේදී ජූනි මස 19 – 20 දෙදින පැවැත්වෙන කසකස්තාන විවෘත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කසකස්තානයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහා කසකස්තානයෙන් අවසර ලැබුණහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියට සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලැසුම් කර තිබේ.

කෙසේ වුවත් මේ වනවිට රට තුළ  කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් පැතිරෙන හෙයින් ආසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළවල් ගණනාවක්ම ශ්‍රී ලාංකිකයන්ට වැසී යාම කසකස්තාන් තරග සංචාරයට බාධාවක් වී ඇතැයි ද වාර්තා වේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වඩාත් ආසන්න අවස්ථාව හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකු කෙරෙහි විශ්වාසය තබමින් එහිදී කසකස්තාන් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා තිබේ.

නිමාලි ලියනආරච්චි, ඩිල්ෂි කුමාරසිංහ (මීටර 800 කාන්තා), කාලිංග කුමාරගේ (මීටර 400 පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම පිරිමි), නදීෂා රාමනායක (මීටර 400 කාන්තා) හා යුපුන් අබේකෝන් (මීටර 100 පිරිමි) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කසකස්තාන් විවෘත තරගාවලියට නිර්දේශ වී සිටිති.

පසුගිය මැයි 8 වැනිදා ඇමෙරිකාවේදී උස පැනීම (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 2.30) පිහිටුවූ උෂාන් තිවංක පෙරේරාට ද මෙම තරගාවලියට ආරාධනා කර ඇතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කසකස්තාන තරගාවලියට සහභාගි විය නොහැකි බවයි.
එසේ වුවත් ඉතාලියේ සිට තරගාවලියට සහභාගි වීමට මීටර 100 ක්‍රීඩක යුපුන් අබේකෝන් කැමැත්ත පළකර තිබේ.

කසකස්තාන විවෘත තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වුවහොත් එය වසර 2019 දෙසැම්බර් මාසයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව වනු ඇත.

ඔලිම්පික් උළෙල ලබන ජුලි 23 සිට අගෝස්තු 8 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ පැවැත්වේ. ඒ සඳහා කිසිදු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක තවමත් සුදුසුකම් ලබා නැත.  එසේ වුවත් සුදුසුකම් නොලත් (වයිල්කාඩ්) නාමලේඛනය යටතේ මීටර 3,000 බාධක දිවීමේ ශූරියක් වන නිලානි රත්නායක ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ ලබාගැනීමේ ඉතාම ආසන්නයට පැමිණ සිටින්නීය. විශේෂයෙන්ම අන්තර් ජාතික මලල ක්‍රීඩා ආයතනය ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග බිමේ පසුපසින්ම සිටින රටවල් සඳහා හඳුන්වා දුන් ප්‍රසාද ලකුණු පිරිනැමීමේ ක්‍රමය යටතේ නිලානි රත්නායක මේ වනවිට ලොව හොඳම මීටර 3,000 බාධක දිවීමේ ක්‍රීඩිකාවන් 32 දෙනා අතරට පැමිණ සිටියි.
 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ඉසව්වකින් සහභාගි කරවා ගන්නා කරගන්නා ක්‍රීඩිකාවන්ගේ ගණන ද 32 කි.  

නිමාලි පසුගිය මැයි 21 වැනිදා සුගතදාස පිටියේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී සිය ඉසව්ව නිමා කළේ විනාඩි 9 තත්පර 53.96 කටය. උෂාන් තිවංක පෙරේරා උස පැනීම පිරිමි ඉසව්වෙන් සුදුසුකම් ලබාගැනීමට තවත් සම්පූර්ණ කළ යුත්තේ සෙන්ටිමීටර  3 ක උසක් පමණි.

යුපුන් අබේකෝන් ඉකුත්දා ඉතාලියේදී මීටර 100 පිරිමි ඉසව්වෙන් තත්පර 10.09 ක තරග නිමි කාලයක් වාර්තා කළත් සුළඟේ වේගයේ බලපෑමෙන් එහි පිළිගැනීම ප්‍රතික්ෂේප විය. ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට තත්පර 10.05 ක තරග නිමි කාලයක් වාර්තා කළ යුතුය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසන පරිදි ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන ජුනි 29 වැනිදා දක්වා හිමිව තිබේ.

 


අදහස් (0)

කසකස්තාන් යන්න 6 දෙනකුගේ කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.