
සංචාරක ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති දෙවැනි තෙදින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත තෙදින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 66 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරුවන් වූ අරෝෂ සිතුමිණ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, නායක රෙහාන් පීරිස් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
දෙවැනි දිනය වූ පෙරේදා (3 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ, තරගයේ අවසන් දිනය වූ ඊයේ (4 වැනිදා) සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 172 ක් එක්කර ගත්හ. ලකුණු 66 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සෞරව් කර්මකාර් (123) සහ ජුනේඩ් හොසේන් (78) සිය කණ්ඩායම ඉනිමක පරාජයකින් බේරාගත්හ.
පන්දු 257 කට මුහුණ දෙමින් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ සෞරව් හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සිය ශතකය සැරසූ අතර ජුනේඩ්ගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. කෙසේ වුවත් දෙවැනි දිනය අවසන් වන විටත් කඩුලු 5 ක් දවාගෙන සිටි හිමරු දේෂාන්, ඔවුන් දෙදෙනාගේම කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යා යුතුව තිබූ ඉලක්කය පහසු එකක් බවට පත් කළේය.
බංග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත් හිමරු දේෂාන්, දෙවැනි ඉනිමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 93 කට කඩුලු 8 ක් බිඳහෙළුවේ මෙම තරගයේදී ඔහු දවාගත් මුළු කඩුලු සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ දමාගනිමිනි. දෙවැනි ඉනිමේ ඉතිරි කඩුලු 2 මනිත රාජපක්ෂ සහ මිනුග නෙත්සර අතරේ බෙදී ගියේය.
බංග්ලාදේශ 17 න් පහළ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 122
(සෞරව් කර්මකාර් 42, කව්සර් අහමඩ් 21, මනිත රාජපක්ෂ 22/3, මිනුග නෙත්සර 34/3, හිමරු දේෂාන් 44/3)
ශ්‍රී ලංකා 17 න් පහළ පිල - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 335
(රෙහාන් පීරිස් 182, ජේසන් ප්‍රනාන්දු 65, මනිත රාජපක්ෂ නොදැවී 27, ස්ටොවොන් පීරිස් 19, හිරුන් මතීෂ 18, සහිදුල් ඉස්ලාම් 114/5)
බංග්ලාදේශ 17 න් පහළ පිල - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 278
(ලෝරන්ස් රෝයි 26, ජුනේඩ් හොසේන් 78, රකිබුල් හොසේන් 23, සෞරව් කර්මකාර් 123, හිමරු දේෂාන් 93/8)
ශ්‍රී ලංකා 17 න් පහළ පිල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 68
(අරෝෂ සිතුමිණ 24, රෙහාන් පීරිස් නොදැවී 26)

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.