Last Update  :  2026-02-09 21:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය අනුෂ්කාට

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය අනුෂ්කාට

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන 2026 නැගී එන තරු කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙම මස 13 වැනිදා සිට 22 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ. තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතයේ නායකත්වය අනුෂ්කා සංජීවනීට හිමිව තිබේ. 

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වේ. එහිදී ඉන්දීය ‘ඒ’, පාකිස්තාන ‘ඒ’, නේපාල සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකා ‘ඒ’, බංග්ලාදේශ ‘ඒ’, මැලේසියා සහ තායිලන්ත කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. 

පසුගිය කාල වකවානුව තුළ පැවැති බහු කණ්ඩායම් තරගාවලීන්හි ආකෘති වලට අනුකූලවම මෙම තරගාවලියද සංවිධානය කෙරෙනු ඇත. ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයක් යටතේ මූලික වටයේදී තරග වැදීම ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. වැඩි දෙනෙකුගේ අවදානය දිනාගන්නා ඉන්දීය - පාකිස්තාන තරගය මෙම මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. 

මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට සිදුවනු ඇත. මෙම මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා සෑම දිනකම තරග දෙක බැගින් පැවැත්වෙන අතර 20 වැනිදා අවසන් පූර්ව තරග දෙකද, 22 වැනිදා අවසන් මහ තරගයද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. එම තරග වලින් ජයගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයේදී මුණගැසෙනු ඇත. 


ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතය 
අනුෂ්කා සංජීවනී (නායක), හංසිමා කරුණාරත්න, ශයානි සේනාරත්න, චේතනා විමුක්ති, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, රෂ්මි සිල්වා, අමා කාංචනා, මිතාලි අයෝධ්‍යා, ශෂිනි ගිම්හානි, මල්ෂා ෂෙහානි, සංජනා කාවින්දි, ලිහිණි අප්සරා, නෙත්මි සේනාරත්න සහ යසන්ති හේරත් 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය අනුෂ්කාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.