
(දමින්ද විජේසූරිය)
තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (17 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව ගියේය. පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියා සිටියේ මෙම තරගාවලිය සඳහා තමන් ඇතුළු කණ්ඩායම හොඳින් සූදානම් වූ බවයි.
“ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපට විවේකයක් ලැබුණා...
ඒත් අපි පුහුණුවීම් කළා.”
“තරග කිහිපයක් සෙල්ලම් කළත්, අවාසනාවකට වගේ අන්තිම සති දෙකේදී වැස්ස නිසා අපට වැඩිපුර යමක් කරගන්න බැරිවුණා” යයි ද චමරි අතපත්තු කීවාය.
ලෝක ශූරියන් හමුවේ කෙරෙන ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් අතර තරගාවලියක් වුවද මෙම සංචාරය සඳහා 17 හැවිරිදි ශෂිනි ගිම්හානි සහ 19 හැවිරිදි රශ්මිකා සෙව්වන්දි දෙදෙනා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත් කර තිබේ. 19 න් පහළ කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින අනෙක් ක්‍රීඩිකාවයි.
තවමත් පාසල් ක්‍රීඩිකාවන් දෙදෙනකු ශෂිනි සහ රශ්මිකා අතුරින් ශෂිනි ගිම්හානි අතිශය දුර්ලභ සොයාගැනීමකි. දකුණතින් ‘පා දඟ පන්දු’ යවන ශෂිනි ගිම්හානි වමතින් ‘චයිනමන්’ පන්දු යවන්නීය. එය අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පිතිකාරිණියන් අන්ද මන්ද කළ හැකි ක්රියාදාමයකි.
19 හැවිරිදි රශ්මිකා සෙව්වන්දි වේග පන්දු යවන්නියක් වන නමුත් හොඳින් පිත්ත හැසිරවිය හැකි පසුපෙළ පිතිකාරිණියකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අත්‍යවශ්‍යම සාමාජිකාවක වන ‘තුන් ඉරියව් ක්‍රීඩිකාවක්’ රශ්මිකාගෙන් නිර්මාණය කරගැනීම හේමන්ත දේවප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා) තේරීම් කමිටුවේ අභිප්‍රායයි.
“තේරීම් කමිටුවේ තීරණය වුණේ ඉදිරිය දිහා බලලා, අනාගතය වෙනුවෙන් අලුත් කණ්ඩායමක් සකස් කරන්න ඕන කියන එකයි. ඒ හින්දා නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා...”
“මම හිතනවා (එක්දින) ලෝක ශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හොඳින් ක්‍රීඩා කරාවි කියලා...ඒත් මේක ලේසි (විස්සයි-20) තරගාවලියක් නෙමේ. මම හිතනවා අපේ නවක ක්‍රීඩිකාවන්ට හොඳ අත්දැකීම් රාශියක්ම මේ තරගාවලියෙදි ලැබේවි” යයි ද නායිකා චමරි අතපත්තු අද උදෑසන මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසුවාය.
23 හැවිරිදි කාව්‍යා කාවින්දි සහ 26 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නියක වන නිමේෂා මධුෂානි ඉන්දීය සංචාරයට එක්වන කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩිකාවෝ වෙති.
මේ වන විට 36 හැවිරිදි නායිකා චමරි අතපත්තු සහ 39 හැවිරිදි ඉනෝකා රණවීර හැරුණු විට අනුෂ්කා සංජීවනී (35), උදේශිකා ප්‍රබෝධනී (40), සුගන්ධිකා කුමාරි (34), සහ අචිනි කුලසූරිය (35) වැනි පළපුරුදු ක්‍රීඩිකාවන්ට ඉන්දීය සංචාරයේදී සිය ස්ථාන අහිමි වී තිබේ.
හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා ද සිල්වා සහ කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් ඇති ක්‍රීඩිකාවෝ වෙති. මේ සියලු දෙනාම පාහේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
මෙම තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැඟෙන්නේ ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි.
විස්සයි-20 කාන්තා කණ්ඩායම් වල වර්තමාන ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම අංක 3 ස්ථානයේත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අංක 7 ස්ථානයේත් සිටිති.





ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.