Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ඉන්දීය කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්

ඉන්දීය කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්

editorial - 2025 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශාකාපට්නම් නුවරදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තලා මිරිකා දැමූ ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (23 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් ඉන්දීය කාන්තාවෝ පෙරමුණ ගත්හ. 

අවසන් ඕවර 4 දී කඩුලු 5 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128 කි. ඉන්දිය ක්‍රීඩිකාවෝ පන්දු 49 ක් ඉතිරිව තිබියදී, කඩුලු 3 ක් පමණක් දැවී ජයටැඹ පසුකර ගියහ. 
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලු දෙනාම එක්වී ගැසූ හයේ පහර සහ හතරේ පහර 11 තනිවම ගැසූ ශෆාලි වර්මා, පන්දු 34 කින් නොදැවී ලකුණු 69 ක් ලබාගත්තාය. ජයග්‍රහණයට ලකුණක් මෑතින් සිටියදී හර්මන්ප්‍රීත් කෞර් ගැසූ කම්මැලි පහර නොවන්නට ඉන්දීය ක්‍රීඩිකාවන්ට කඩුලු 8 කින් තරගය ජයගත හැකිව තිබිණ. 

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර පළමු ඕවරයේදීම විශ්මි ගුණරත්න දැවී ගියාය. හසිනි පෙරේරා (22) සමගින් එක්වූ චමරි අතපත්තු (31) හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් පන්දු 24 කදී ලකුණු 31 ක් ලබාගත් නමුත් ප්‍රහාරාත්මක 6 වැනි ඕවරය නිමාවේදී ඇයත් දැවී ගියාය. 

විශ්මි සහ චමරි දෙදෙනාම දැවී ගොස් සිටියද, හසිනි පෙරේරා සමගින් එක්වූ හර්ෂිතා සමරවික්‍රම, ලකුණු සංඛ්‍යාව 66 දක්වා ගෙන ගියාය. කෙසේ වෙතත් 10 වැනි ඕවරය නිලකුණු ඕවරයක් වීම ශ්‍රී ලංකා පිලට අවාසි සහගත විය. 

පිටියට පැමිණි විගසින්ම, පිට පිටම පන්දු තුනකට හර්ෂිතා සමරවික්‍රම ගැසූ හතරේ පහර 3 ත් සමගින් 7-8 සහ 9 වැනි ඕවර තුනේදී පන්දු 18 කින් ශ්‍රී ලංකා පිලට හතරේ පහර 5 ක් එක්විය. එහෙත් 10 වැනි ඕවරයේ සිට 16 වැනි ඕවරයේ අවසානය දක්වාම එකම හතරේ පහරක් වත් ගැසීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අසමත් වූයේ ඉන්දීය පන්දු යවන්නියන්ගේ පාලනය එතරම්ම දැඩි වූ බැවිනි. 

16 වැනි ඕවරය නිමාවේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 99 ක් ලෙසිනි. ලකුණු වේගය වැඩිකිරීමට ගත් උත්සාහයේදී පන්දු 22 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පස් දෙනෙක්ම දැවී ගියහ. ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 120 න් පන්දු 53 ක් නිළකුණු පන්දු වූ අතර සම්පූර්ණ ඉනිමටම ඇතුළත් වූයේ හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් පමණි. 
තරගාවලියේ ඉතිරි තරග තුනම තිරුවනාතපුරම් නුවරදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - කඩුලු 9 ට 128 යි
(චමරි අතපත්තු 31, හසිනි පෙරේරා 22, හර්ෂිතා සමරවික්‍රම 33, කවීෂා දිල්හාරි 14, කෞෂිනි නෘත්‍යංගනා 11, වෛෂ්ණවී ෂර්මා 32/2, ශ්‍රී චරණි 23/2)

ඉන්දීය කාන්තා කණ්ඩායම - ඕවර 11.5 කදී කඩුලු 3 ක් දැවී 129 යි
(ස්ම්‍රිති මන්දනා 14, ශෆාලි වර්මා නොදැවී 69, ජෙමීමා රොඩ්‍ර්ගුවස් 26, හර්මන්ප්‍රීත් කෞර් 10)

 - 213


අදහස් (0)

ඉන්දීය කාන්තාවන්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.