Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝශප් 1 කොටසේ ශූරතාව දිනා ගනී
15න් පහළ ක්‍රිකට්

ශාන්ත ජෝශප් 1 කොටසේ ශූරතාව දිනා ගනී

editorial - 2025 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(රජන්ත බමුණුකොටුව) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය. ශාන්ත ජෝෂප් විද්‍යාලය මෙම ශූරතාව දිනාගත්තේ වසර 15 කට පසුවය. 

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද (24) පැවති අවසන් තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගනිමින් ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ ශූරතාව දිනාගත්හ. ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් අවසන් වරට 15 න් පහළ පළමු කොටසේ ශූරතාව දිනාගත්තේ 2010 දීය. 

කාසියේ වාසිය දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ඕවර 50 තුලදී කඩුලු 5ක් දැවී ලකුණු 200 ක් රැස් කළේය. 15 න් පහළ තරගාවලිය ඉනිම 4 ක් කරා යාමේ ආකෘතියෙන් පැවැත්වෙන නමුත් සෑම කණ්ඩායමකම පළමු ඉනිම ඕවර 50 කට සීමාකර තිබේ. 

වමත් පිතිකරු චේතින කාවින්ද පන්දු 138 කදී හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 92 ක් රැස් කළේය. සන්තෝෂ් ජයප්‍රකාශ් (40), තිසඟ පෙරේරා (24) සහ මොකිත තත්සිළු (20) ශාන්ත ජෝශප් පිලේ ඉනිම ගොඩනැගීමට දායකවූහ. චේතින කාවින්ද සහ සන්තෝෂ් ජයප්‍රකාශ් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 93 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. ජයප්‍රකාශ් දැවී යාමෙන් පසුව චේතින කාවින්ද සහ තිසඟ පෙරේරා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සබඳතාවක් ගොඩනැගූහ. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම ඕවර 27.5 කදී ලකුණු 72 කට සීමා කිරීමට ශාන්ත ජෝශප් පන්දු යවන්නෝ සමත් වූහ. ගයාෂ ප්‍රනාන්දු ලකුණු 08 කට කඩුලු 3 ක් දවාලූ අතර, සවිඳු පෙරේරා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාලීය. පිත්තෙන් දස්කම් දැක්වූ තිසඟ පෙරේරා පන්දුවෙන් ද තම කාර්යය අඩු නැතිව කරමින් ලකුණු 15 කට කඩුලු 2ක් දවාලීය.

2010 වසරේදී ඩිලන් ප්‍රනාන්දුපුල්ලේ යටතේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සම ශූරයින්  බවට පත්විය. ඉන් වසර 15කට පසුව ඔව්හු ශූරතාව දිනාගත්හ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික ශම්මි ගුණසේකර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරිරීක අධ්‍යාපන) ජේ. එන්. ප්‍රභාත් ඉන්දික, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති සහ මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ විදුහල්පති විරාජිත් කඩවැද්දුව, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියාන් තිසේරා පියතුමා, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ විදුහල්පතිනි කෝකිලා මෙන්ඩිස් මහත්මිය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලීලානන්ද කුමාරසිරි යන මහත්ම-මහත්මීහු ජය සංකේත ප්‍රදානයට එක්ව සිටියහ.

පාසල් කණ්ඩායම් 84 ක් කාණ්ඩ 14 ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, ඉන් කණ්ඩායම් 32 ක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. 

 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 5 ට 200 යි
(චේතින කාවින්ද 92, සන්තෝෂ් ජයප්‍රකාශ් 40, තිසඟ පෙරේරා 24, , මොකිත තත්සිළු 20, අදීෂ ගෞතම් 34/2) 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 72 යි
(ලිනුවර සත්විදු 20, ගයාෂ ප්‍රනාන්දු 08/3, සවිඳු පෙරේරා 21/3, තිසඟ පෙරේරා 15/2) 

 

 


අදහස් (0)

ශාන්ත ජෝශප් 1 කොටසේ ශූරතාව දිනා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.