Last Update  :  2026-02-15 23:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල අවසන් තරගයට
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල අවසන් තරගයට

editorial - 2026 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ඊයේ (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 17-15 ක අතිශය තියුණු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් විය. 

මෙවර තරගාවලියේදී සී.ආර්. කණ්ඩායම ලැබූ 9 වැනි ජය මෙය වූ අතර මහනුවර කණ්ඩායමට එරෙහිව ලැබූ දෙවැනි ජයද මෙය විය. මෙන් පෙර මෙම කණ්ඩායම් දෙක අතර මූලික වටය යටතේ පැවැති තරගයේදීද මහනුවර කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන් අවසන් තරගයට පිවිසියේ ලකුණු සටහනේ පළමු ස්ථානයටද පත් වෙමිනි. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 07-05 ක් ලෙස සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ.
 
එහිදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර මහනුවර කණ්ඩායම ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් මගිනි. 

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් පසිඳු බණ්ඩාර එම උත්සාහක දිනුම වාර්තා කළ අතර තේනුක නානායක්කාර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම වාර්තා කරනු ලැබුවේ විදෙස් ක්‍රීඩක සෙලසි හවීයා විසිනි. පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායමේ ගයාන් පෙරේරා සහ දැහැන් වික්‍රමාරච්චි කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 10 ක් රැස්කිරීමට සමත් වූ සී.ආර්. ක්‍රීඩකයෝ, සිය මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ දමාගත්හ. මහනුවර කණ්ඩායමද එහිදී උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 10 ක් ලබාගත් නමුත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට සී.ආර්. කණ්ඩායමට ලකුණු 2 ක තියුණු ජයක් හිමිවිය. 

දෙවැනි අර්ධයේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක එනෙසි වකනිසාවු උත්සාහක දිනුම ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සහ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ තේනුක නානායක්කාර විසිනි.  බුවනක උඩන්ගමුව සහ ශාහිඩ් සුම්රි මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. දෙවැනි අර්ධයේදී සී.ආර්. කණ්ඩායමේ නවීන් මාරසිංහ සහ නායක ලසිඳු කරුණාතිලක කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ. 


අදහස් (0)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.