Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල හෙට තරග බිමේ
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල හෙට තරග බිමේ

editorial - 2022 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

‍එංගලන්‍තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම හෙට (29 වැනිදා) ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වනු ඇත.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, එම  තර‍ගයෙන් අනතුරුව එදිනම රාත්‍රී 10.00 ට එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇත. මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (30 වැනිදා) පස්වරු 1.30 ට සැමෝවා කණ්ඩායම‍ෙ එරෙහිවය.

රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තේ ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ඉහළම දස්කම් දැක්වූ යටත් විජිත රටවල් දෙක අතරට එක් වෙමිනි. මෙම තරගාවලි‍යට එක් වූ සෙසු ආසියාතික රට වූයේ මැලේසියාවය.

දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය, මැලේසියාව සහ ටොන්ගා රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේද, කැනඩාව, වේල්සය, සැම්බියාව සහ ෆීජි රාජ්‍යය ‘සී’ කාණ්ඩය යටතේද, ඕස්ට්‍රේලියාව, කෙන්යාව, උගන්ඩාව සහ ජැමෙයිකාව ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියේ මූලික වටයේදී තරග වැදීමට සූදානමින් සිටිති.

මූලික වටයේදී දක්වන දස්කම් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වන අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනිමින් පදක්කම් කරා යෑමට නම් ඔවුන් සිය කාණ්ඩයේ පළමු කණ්ඩායම් දෙක අතරට පැමිණිය යුතුය. එසේ නැතහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ ශ්‍රේණිගත ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි කවිඳු පෙරේරා සහ අදීෂ වීරතුංග කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙනුවට අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටි ර‍මේෂ් ප්‍රනාන්දු සහ ඉරෝෂන් සිල්වා සංචිතයට කැඳවීමට කණ්ඩායමේ කලමනකාරීත්වය පියවර ‍ගත්තේය.

ශ්‍රී ලංකා සත් සමාජිත රග්බි සංචිතය

ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), තරින්ද රත්වත්‍තේ, නයිජල් රත්වත්තේ, ධනුෂ් ඩයන්, බුද්ධිම පියරත්න, මිතුන් හපුගොඩ, රීසා රෆයිඩීන්, චතුර සෙනෙවිරත්න, අංජුල හෙට්ටිආරච්චි, සුදර්ශන දික්කුඹුර, ර‍මේෂ් ප්‍රනාන්දු සහ ඉරෝෂන් සිල්වා

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.