Last Update  :  2026-03-25 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය ටස්කර්ස්ට

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය ටස්කර්ස්ට

editorial - 2026 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ජයගැනීමට එක්සත් අරාබි එමීර් රාජය නියෝජනය කරමින් තරගාවලියට එක්වූ යූ.යූ.ඩී.එස්. ටස්කර්ස් කණ්ඩායම සමත් විය. පළමු අදියරේ කුසලාන ශූරතාව වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 34-14 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පරාජය කිරීමට ටස්කර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කණ්ඩායම් 9 ක සහභාගීත්වයෙන් ඉකුත් සති අන්තයේ කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමත් වූයේ ලකුණු 33-00 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කරමිනි. නාවික හමුදාවට එරෙහිව ලකුණු 34-12 ක ජයක් ලැබී ගුවන් හමුදාව බඳුන ශූරතාවටත්, යුද හමුදාවට එරෙහිව ලකුණු 14-05 ක ජයක් ලැබූ පොලිස් කණ්ඩායම පලිහ ශූරතාවටත් හිමිකම් කීවේය. 

තරගාවලියේ පළාත් ශූරතාව දිනාගැනීමට බස්නාහිර වොරියර්ස් කණ්ඩායම සමත් වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 12-05 ක් ලෙස මධ්‍යම පළාත් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමිනි. අවසන් මහ තරගයේදී ලකුණු 17-14 ක් ලෙස ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරාජය කළ නාවික හමුදා ක්‍රීඩිකාවෝ කාන්තා ශූරතාව දිනාගත්හ. 

දේශිය ක්‍රීඩා සමාජ 8 ක්, විදෙස් ක්‍රීඩා සමාජයක්, පළාත් කණ්ඩායම් 8 ක් සහ කාන්තා කණ්ඩායම් 3 ක් තරග වදින මෙම තරගාවලියේ දෙවැනි අදියර එළබෙන සෙනසුරාදා (28) සහ ඉරිදා (29) යන දෙදින පෙරවරු 8.00 සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. එහිදී කුසලාන ශූරතාව දිනාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් වුවහොත් ඔවුන්ට මෙවර ලීග් ශූරතාවට සහ ක්ලිෆර්ඩ් කුසාලනට මෙන්ම සත් සාමාජික කුසලානටද හිමිකම් කීමේ අවස්ථාව උදාවනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය ටස්කර්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.