Last Update  :  2025-10-16 23:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් පහක්
ආසියානු සත් සාමාජික රග්බි - දෙවැනි අදියර

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් පහක්

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී මෙම සති අන්තයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයේ වෙනස්කම් 5 ක් සිදු කිරීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ හොඳම කණ්ඩායම් 12 සහභාගි වන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර සැප්තැම්බර් මාස චීනයේදී පැවැත්විණි. කවිඳු පෙරේරාගේ නායකත්වය යටතේ පළමු අදියරේ සිවුවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව මෙම අදියරයට සහභාගි වන්නේ තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමගිනි. 

පළමු අදියරට සහභාගි වූ ජනිත් මාරසිංහ, ශාහිඩ් සුම්රි, ඒරන් කොරයා, ජයතු රාජරත්න සහ නාලන් දේශප්‍රිය වෙනුවට දිලුක්ෂ දංගේ, හේෂාන් ජැන්සන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ක්‍රිස් දාබරේ සහ චෙමෝද් මුතුනායක මෙම අදියරේදී ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති. ඔවුන්ට අමතරව පළමු අදියරේදී අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර සිටි යෙහාන් බුලත්සිංහලට සහ කළණ චමුදිතටද සංචිතයේ ස්ථාන හිමිව ඇත.  

පළමු අදියරේදී නායක කවිඳුට අමතරව ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රවීන ක්‍රීඩකයන් වූයේ දිනාල් ඒකනායක සහ ආකාෂ් මධුෂංක පමණි. එහිදී සමස්තයක් ලෙස ගත්කළ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් බහුතරයක් යොවුන් ක්‍රීඩකයෝ වූහ. එහෙත් මෙම සංචිතය ගත් කළ අත්දැකීම් බහුල සහ නවක ක්‍රීඩකයන්ගෙන් සමබර සංචිතයක් ලෙස හැඳින්විය හැකිය.
 
ඊට හේතුව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමගින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිලුක්ෂ දංගේ සහ හේෂාන් ජැන්සන් යළිත් සංචිතයට ඇතුළත්ව සිටීමය. ශ්‍රී ලංකාව අවසන් වරට 2022 වසරේදී ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූයේද සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේය. 

නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් මහතාගේ සහ ශම්ලි නවාස් මහතාගේ පුහුණුකාරීත්වයන් යටතේ පසුගිය දිනවල පුහුණුවීම්වල නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) පස්වරුවේ සහ හෙට (17 වැනිදා) පෙරවරුවේ තුරඟ තරග පිටියේදී සිය අවසන් පුහුණු සැසි දෙකට සහභාගි වීමට නියමිතය. රජීව් පෙරේරා මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කරයි. 


ශ්‍රී ලංකා සත් සමාජික රග්බි සංචිතය 
කවිඳු පෙරේරා (නායක), චතුර සොයිසා, ජනිඳු ඩිල්ෂාන්, ආකාෂ් මධුෂංක, දිලුක්ෂ දංගේ, යෙහාන් බුලත්සිංහල, කළණ චමුදිත, හේෂාන් ජැන්සන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුරංග තෙන්නකෝන්, ගයාන් පෙරේරා, දිනාල් ඒකනායක, මොහොමඩ් රිෆාන්, ක්‍රිස් දාබරේ සහ චෙමෝද් මුතුනායක 


අදහස් (0)

ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.