Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ මූලික වටය යටතේ අද (20 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයකදී සිංගප්පූරුවට එරෙහිව ලකුණු 34-07 ක පහසු ජයක් වාර්තා කරමින් තවදුරටත් අවසන් පූර්ව වටයට පිවිසීම කෙරෙහි බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 22 ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ එහිදී සිංගප්පූරු ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකි විය.
කෙසේ වුවත් ‘බී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන ජපානය සහ තායිලන්තය මූලික වටයේ තවත් තරගයක් අතර අද පස්වරු 6.58 ට පැවැත්වීමට නියමිත අතර ඉන් ජයගැනීමට ජපානය සමත් වුවහොත් ඔවුන් එම කාණ්ඩයේ පෙරමුණට පැමිණෙනු ඇත. එහෙත් කාණ්ඩ තුනේ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දක්වන කණ්ඩායමටද අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිවන බැවින් ශ්‍රී ලංකාවට තව දුරටත් ඒ පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකිය.
එහිදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින මැලේසියාවට වඩා ලකුණු පරතරය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම කුමක් දැයි තවමත් තීරණය වී නොමැත. අද පස්වරු 7.20 ට චීනය සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය තීරණය වන අතර එහිදී කොරියාව පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.
සිංග්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් හිදායත් ජෙෆ්රිඩින්, සිංගප්පූරුව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහෙත් එතැන් පටන් විනාඩි 2 ක් ගතවන ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් ශාහිඩ් සුම්රි 07-07 ක් ලෙස දෙපිලේම ලකුණු සම තත්වයට ගෙන ආවේය.
අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නායක කවිඳු පෙරේරා පළමු අර්ධයේ අවසන් විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගමින් ලකුණු 12-07 ක් ලෙස දෙවැනි අර්ධය ආරම්භ වීමට පෙර දෙපිල අතර ලකුණු පරතරය ඉහළ දැමූ නමුත් එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට මොහොමඩ් රිෆාන් අපොහොසත් විය.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 9 වැනි සහ 11 වැනි විනාඩිවලදී ජනිඳු දිල්ෂාන් සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට මොහොමඩ් රිෆාන් සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නංවමිනි.
තරගයේ අවසන් විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් 2 ක් වාර්තා කිරීමට ශාහිඩ් සුම්රි සහ ආකාෂ් මධුෂංක සමත් වූ නමුත් එම උත්සාහක දිනුම් ගෝල දිනුම් බවට පත්කිරීමට සුම්රිට නොහැකි විය. කෙසේ වුවත් තරගාවලියේ පළමු දිනය පුරා ඉතා සටන්කාමී තරගකාරීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, දෙවැනි දිනයේදී අවසන් පූර්ව තරග සඳහා සහභාගිවීමේ බලාපොරොත්තු සහිතව පළමු දිනය නිමා කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.