Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් සහ රටවල් 12 ක සහභාගීත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද (21 වැනිදා) සමත් විය. තෙවැනි සහ සිවුවැනි ස්ථාන සඳහා පැවැති තේරීම් තරගයේදී සත්කාරක චීනය හමුවේ ලකුණු 22-17 ක් ලෙස පරාජය වීම හේතුවෙන් එහිදී ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-05 ක් ලෙස පෙරමුණ ගැනීමට චීනය සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඉතා ආක්‍රමණශීලී අයුරින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නියමිත කාලය අවසන් වන විට දෙපිලේම ලකුණු 17-17 ක් ලෙස සම තත්වයට පත් කළහ. එහෙත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අතිරේක කාලයේදී උත්සාහක දිනුමක් වාර්තා කළ චීනය තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
දෙවැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් හඕෂියෑන් මා සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් චංග්ෂුන් ශාන් චීනය වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළහ. තෙවැනි විනාඩියේදී ගයාන් පෙරේරා ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලංකාව තරගයට පිවිසි නමුත් 5 වැනි සහ 7 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් වාර්තා කළ හයිතාඕ ලී සහ ලූඩා ලියූ චීනයේ ලකුණු සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ දැමූහ.
චීනයට වඩා ලකුණු 12 ක් පසුපසින් සිටිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් 9 වැනි විනාඩියේදී සහ අවසන් විනාඩියේදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට දිනාල් ඒකනායක සමත් විය. ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ආකාෂ් මධුෂංක නියමිත කාලය අවසානයේ ලකුණු 17-17 ක් ලෙස දෙපිලේම ලකුණු සම තත්වයට ගෙන ආවේය.
අතිරේක කාලය ආරම්භ වීමත් සමගම ශ්‍රී ලංකා නායක කවිඳු පෙරේරා විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව යෑම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය. එහිදී චංග්ෂුන් ශාන් ලබාගත් උත්සාහක දිනුමත් සමග තරගයේ ජයග්‍රහණය මෙන්ම තරගාවලියේ තෙවැනි ස්ථානයද චීනය සතු විය.
පෙරේදා (20 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජපානය හමුවේ ලකුණු 38-07 ක පරාජයක් ලැබුවද, තායිලන්තයට එරෙහිව ලකුණු 24-07 ක ජයක්ද, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 34-07 ක ජයක්ද වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව මූලික වටය නිමාවන විට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව, ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ තුනේම දෙවැනි ස්ථානවලට පත්වූ කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දැක්වූ කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
කෙසේ වුවත් හොං කොං රාජ්‍යයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 33-00 ක දරුණු පරාජයකට මුහුණ පෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ තෙවැනි ස්ථානයත්, සිවුවැනි ස්ථානයත් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 19-00 ක් ලෙස පෙරමුණ ගත් හොං කොං ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් රැස්කළේ තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදෙමිනි.
අවසන් මහ තරගයේදී ලකුණු 31-12 ක් ලෙස ජපානය පරාජය කළ හොං කොං රාජ්‍යය තරගාවලියේ ශූරයන් බවට පත්විය. ශ්‍රී ලංකාව මින් පෙර අවසන් වරට ආසියානු සත් සාමාජිත රග්බි තරගාවලියකට සහභාගි වූයේ 2022 වසරේදී වන අතර එහි දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේදී සිවුවැනි ස්ථානයටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තෙවැනි අදියරේදී 7 වැනි ස්ථානයටත් පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.