Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - ඉසිපතන දෙවැනි වටයට පිවිසෙති

රාජකීය - ඉසිපතන දෙවැනි වටයට පිවිසෙති

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය නිමාවට පත්වන විට පළමු කොටසේ 'ඒ' කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල සමත්ව සිටිති. 'ඒ' කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් දෙක තීරණය වන්නේ හයවැනි සතියේ තරග අවසන් වීමෙන් පසුවය.

‘ඒ-1’ කාණ්ඩය යට‍තේ තරග වැදුණ ‍රාජකීය විදුහල මූලික වටයේදී සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගත් අතර පරාජයට පත්වූයේ එක් තරගයක් පමණි. පරාජය වූ තරගයද ඔවුන් පරාජයට පත්වූයේ ත්‍රිත්ව විදුහල හමුවේ එක් ලකුණකිනි. ඒ අනුව ප්‍රසාද ලකුණු 3 ක්ද සමග මුළු ලකුණු 23 ක් ලබා සිටින ඔවුන් තරගාවලියේ දෙවැනි වටයට පිවිසියේ ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි.

එම කාණ්ඩයෙන් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම කුමක්දැයි යන්න තවමත් තීරණය වී නොමැති අතර ඒ සඳහා මහනුවර ත්‍රිත්ව විදුහලට මෙන්ම මරදාන ශාන්ත ‍ජෝෂප් විදුහලටද අවස්ථාව පවතී. මේ වන විට ත්‍රිත්ව විදුහල තරග 5 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 22 ක් ලබා ‘ඒ-1’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

ශාන්ත ‍‍ජෝෂප් විදුහල ප්‍රසාද ලකුණු 2 ක් සමග ලකුණු 17 ක් ලබා 'ඒ' කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියද ඔවුන් තවමත් සහභාගි වී ඇත්තේ තරග 4 කට පමණි. එහිදී ජයග්‍රහණ 3 ක් ලබා ඇති ඔවුන් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි. මූලික වටය යටතේ ශාන්ත ජෝෂප් විදුහල සහභාගි වන අවසන් තරගය අගෝස්තු මස 1 වැනිදා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ‍කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශාන්ත ‍ජෝෂප් විදුහලට ඍජුවම දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට නම් ප්‍රසාද ලකුණත් සමග එම තරගය ජයගත යුතුය. ප්‍රසාද ලකුණ නොමැතිව ඔවුන් එම තරගයෙන් ජය ගතහොත්, ත්‍රිත්ව විදුහල සමග සම ලකුණ ලබාගනු ඇත. එවිට කණ්ඩාය‍ම් දෙක සහභාගි වූ තරගවලදී ලබාගෙන ඇති ලකුණුවල සහ ප්‍රතිවාදීන්ට ලබාදී ඇති ලකුණුවල පරතරය අනුව දෙවැනි වටයට පිවිසෙන කණ්ඩායම තීරණය වනු ඇත.

මේ දක්වා සහභාගි වූ තරග 4 ම ජයගනිමින් තවදුරටත් තරගාවලියේ අපරාජිතව සිටින එකම කණ්ඩායම වන ඉසිපතන විදුහල, දෙවැනි වටයට පිවිසියේ ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. මේ දක්වා ප්‍රසාද ලකුණු 2 ක් සමග ඔවුන් ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 22 කි. මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව මේ මස 29 වැනිදා නිත්තවෙල ක්‍රීඩාගංණයේදී ඉසිපතන විදුහල මූලික වටයේදී සිය අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

ඒ-2’ කාණ්ඩයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබන කණ්ඩායම කුමක්දැයි යන්නද තවමත් තීරණය වී නොමැත. කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල මේ වන විට ලකුණු 15 බැගින් ලබා පිළිවෙලින් ඒ-2’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. ඒ අනුව තරගාවලියේ 6 වැනි සතියේදී සහභාගි වන තරගවලදී එක් කණ්ඩායමක් ජය ලබා සෙසු කණ්ඩායම පරාජය වන්නේ නම් ඉන් ජයගන්නා කණ්ඩායම දෙවැනි වටයට පිවිසෙනු ඇත.

යම්හෙයකින් එහිදී කණ්ඩායම් දෙකම ජය ලැබුවහොත් හෝ කණ්ඩායම් දෙකම පරාජයට පත්වුවහොත් ‍දැනට තිබෙන ලකුණු තත්ත්වයේ වෙනසක් සිදු නොවන බැවින් දෙවැනි ස්ථානයේ පසුවන වෙස්ලි විදුහල පහසුවෙන්ම දෙවැනි වටයට සුදුසකම් ලබාගනු ඇත. ‍වෙස්ලි විදුහල මේ මස 30 වැනිදා මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.


අදහස් (0)

රාජකීය - ඉසිපතන දෙවැනි වටයට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.