
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළඟ වටය යටතේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 57-24 ක දැවැන්ත වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය.
මෙවර තරගාවලියේදී යුද හමුදාව ලැබූ තෙවැනි ජය මෙන්ම නාවික හමුදාවට එරෙහිව ලැබූ දෙවැනි ජයද මෙය විය. තරගාවලියේ මූලික වටයේදී යුද හමුදාව හමුවේ නාවික හමුදාව පරාජය වූයේ ලකුණු 41-38 ක් ලෙසිනි.
නාවික හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වන වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 33-17 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී යුද හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී යුද හමුදා ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 24 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට යුද හමුදාවට ලකුණු 57-24 ක පහසු ජයක් හිමිවිය.
එහිදී යුද හමුදාව වෙනුවෙන් මධුෂංක සිල්වා සහ ධනුෂ්ක තල්වත්ත උත්සාහක දිනුම් 2 බැගින්ද, බුද්ධි ශ්‍රීමන්ත, නලින් කුමාර, සුදාරක දික්කුඹුර, තරින්ද චන්ද්‍රසේන සහ තරුන් වර්ණසූරිය එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර ඉන් උත්සාහක දිනුම් 6 ක ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමට ළහිරු රත්නායක සමත් විය.
සෙනුර පීරිස්, දෙනුවන් වික්‍රමාරච්චි, සහ අමිත් මධුෂංක නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉසුරු කෝන්ගහවත්ත එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක්ද, කල්ප ලක්මිණ සහ ස්ටෙෆාන් සන්සෝනි එක් ප්‍රවර්ථනය බැගින්ද සාර්ථක කරගත්හ. එහිදී නාවික හමුදාවට ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩක ලෙපානි තිවනුවාවොව් විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.